කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන් තුලනය කළ පළමු බැංකුව බවට පත්වෙයි

    April, 28, 2021

    පරිසරය රැුකගැනීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් දක්වන කැපවීම කැපී පෙනෙන සංධිස්ථානයකට පැමිණෙමින් ශාඛා 268 ක් සහ ප‍්‍රධාන මූලස්ථානයෙන් සමන්විත බැංකුවේ සමස්ත මෙහෙයුම් තුල පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ හැකි වූ ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ.

    කොමර්ෂල් බැංකුව සියවස සැමරූ 2020 වසරේදී පරිසරයට කාබන් මුදා නොහරින සමාගමක් බවට පත්වීමට ඉලක්ක කර තිබුණි.

    බැංකුව විසින් පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය ISO 14064‐1‐2018 ප‍්‍රමිතියට අනුව ගණනය කිරීම ආරම්භ කළ ක්ලයිමට් ස්මාර්ට් ඉනිෂියේටිව් (ප‍්‍රයිවට්) ලිමිටඞ් සමාගම විසින් බැංකුව මේ වනවිට පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ සමාගමක් ලෙස සහතිකකරණය කර තිබේ. මෙම විශ්ලේෂණය සඳහා බැංකුව විසින් සෘජුව සහ වක‍්‍රව පරිසරයට මුදාහරින වායු මූලාශ‍්‍ර 13 ක් සැලකිල්ලට ගෙන ඇත. මීට අමතරව, ISO 14064-3-2018 මාර්ගෝපදේශනයන් යටතේ මෙරට දේශගුණික අරමුදලේ මෙහෙයුම් කටයුතු සිදුකරන පරිසර අමාත්‍යංශය විසින් ස්වාධීන තුන්වන පාර්ශවයේ ස්ථීර කිරීමක් කොමර්ෂල් බැංකුවට ලබාදෙමින් බැංකුවට ගෞරවණීය ISO 14064 සහතිකකරණය ලබාදී තිබේ.

    මෙම ජයග‍්‍රහණය පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘බැංකුවේ කොටස්කරුවන්ගේ ප‍්‍රතිලාභ වැඩිකිරීමේදී සමාජය සහ පරිසරය සම්බන්ධයෙන් වන බැංකුවේ වගකීම අත්නොහැර වැඩකිරීම නිසා මෙවැනි ජයග‍්‍රහණයක් බැංකුව විසින් ලබාගෙන තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව ලෙස පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම පාලනය කිරීම සුළු කාරණයක් නෙවෙයි. ඒ පිළිබඳව අපි අතිශය සතුටට පත්වෙනවා. අඛණ්ඩතාවය සහ වෙනස්වීම, ස්ථාවරත්වය සහ නව්‍යතාවය අතර සමබරතාවයක් පවත්වා ගැනීම තිරසාර සාර්ථකත්වයේ රහස වන බව අපගේ විශ්වාසයයි. අපගේ තිරසාර බැංකුකරණ ක‍්‍රමවේදයන් නිර්මාණය කර තිබෙන්නේ මෙම මානසිකත්වයෙන් යුතුවයි.’

    කොමර්ෂල් බැංකුව විසින් පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය ගණනය කිරීම 2017 වසරේ සිට ආරම්භ කළ අතර වායු ගෝලයට හානිකර වායූන් මුදාහැරීම නතර කිරීමට බැංකුව මුලින්ම කටයුතු කරන ලදී. මේ සඳහා බැංකුව විසින් සූර්ය PV පද්ධති, කාර්යක්ෂම වායු සමීකරණ පද්ධති, LED අලෝකකරණ පද්ධති සවිකිරීම සිදු කළේය. මේ වනවිට, කොමර්ෂල් බැංකුවේ ශාඛා 49 ක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් සූර්ය බල ශක්තිය භාවිතා කරනු ලබයි.

    මීට අමතරව, කොමර්ෂල් බැංකුව විසින් සමාජ සහ පාරිසරික අවධානම් උපායමාර්ගික සහ කාර්යක්ෂම ආකාරයෙන් කළමණාකරණය කිරීම මෙන්ම තක්සේරු කිරීම සඳහා සමාජ සහ පාරිසරික කළමනාකරණ පද්ධතියක් (SEMS) යොදාගන්නා ලදී. මේ අනුව, කොමර්ෂල් බැංකුව විසින් පාරිසරික වශයෙන් තිරසාර, සමාජමය වශයෙන් පිළිගත් සහ ආර්ථික වශයෙන් ප‍්‍රතිලාභ තිබෙන ව්‍යාපෘති වලට පමණක් අරමුදල් සැපයිය යුතු බව මෙම සමාජ සහ පාරිසරික කළමනාකරණ පද්ධතියට අනුව තීරණය කෙරුණි. පරිසර හිතකාමී ව්‍යාපාරික කටයුතු ප‍්‍රවර්ධනය කිරීම සඳහා බැංකුවේ ‘හරිත ණය’ සහ ‘හරිත ලීසිං පහසුකම්’ කැපී පෙනෙන දායකත්වයක් ලබාදී තිබේ.

    පරිසරයට හානිකර වායූන් මුදාහැරීම නතර කිරීමට අමතරව බැංකුව විසින් එක්සත් ජාතීන්ගේ දේශගුණ වෙනස්කම් සමුළුවේ (UNFCCC) පිරිසිදු සංවර්ධන යාන්ත‍්‍රණය යටතේ ලියාපදිංචි වී තිබෙන සුළං බලශක්ති ව්‍යාපෘතියකින් කාබන් ණයද මිලදීගෙන තිබේ. බැංකුවට කාබන් උදාසීන තත්ත්වයට පත්වීමට මෙමගින්ද සහයෝගය ලැබී ඇත.

    ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 890 ක් පවත්වාගෙන යයි.

    බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

    සේයාරූ සටහන - කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ එස්. රෙන්ගනාදන් මහතා, ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී සනත් මනතුංග මහතා සහ සහකාර සාමාන්‍යාධිකාරී - සේවා චින්තක ධර්මසේන මහතා (පිළිවෙළින් දකුණේ සිට සිව්වැන්නා, තුන්වැන්නා සහ දෙවැන්නා) සහ ජ්‍යෙෂ්ඨ බැංකු නිළධාරීන් විසින් ශ‍්‍රී ලංකා දේශගුණ අරමුදලෙහි නිළධාරීන් වෙතින් සහතිකය ලබා ගන්නා අයරු.