කොල්ලුපිටිය පැරණි වෙළෙඳපොළ වෙනුවට මහල් 40කින් සමන්විත නවීන වෙළෙඳ පරිශ්‍රයක්

    April, 1, 2021

    කොළඹ නගරයේ පැරණි වෙළඳපොළ පරිශ්‍ර පුළුල් මහජන සේවාවක් සැපයීමට හැකි වන පරිදි නවීන පහසුකම් සහිතව ප්‍රතිනිර්මාණය කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී ඇත. එම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස 1976 වසරේ ආරම්භ කළ කොල්ලුපිටිය වෙළඳපොළ, සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව එක්ව තීරණය කර තිබේ.‍

    කොල්ලුපිටිය වෙළඳපොළ, කඩකාමර 90 කින් සමන්විත තෙමහල් ගොඩනැගිල්ලක් වන අතර එය ඒ.එච්.එම්. ෆවුසි මහතා කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කළ කාලයේ ඉදිකර තිබේ. මෙම වෙළඳපොළ 1976 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවැති නොබැඳි සමුළුවට පැමිණි ඇමරිකානු තානාපතිවරයා විසින් එවක අගමැති සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය කළ ආරාධනාව මත විවෘත කරනු ලැබීය.

    මේ වන විට අබලන් තත්ත්වයක පවතින කොල්ලුපිටිය වෙළඳපොළේ පළමු මහලේ පිහිටි මාළු කඩවල අපිරිසිදු ජලය සිමෙන්ති තට්ටුව හරහා බිම් මහලට කාන්දු වීමෙන් බිම් මහලේ රථගාලට හානි සිදුවේ. බිම් මහල රථගාල සඳහා සම්පූර්ණයෙන් ම වෙන්කර තිබුණ ද වෙළඳසැල් ප්‍රමාණය වැඩි වන විට බිම් මහලේ ද වෙළඳසැල් ආරම්භ කිරීම හේතුවෙන් මේ වන විට බිම් මහලේ නවතා තැබිය හැකි රථ වාහන සංඛ්‍යාව 25කට පමණ සීමා වී තව ද මෙම නාගරික වෙළඳ පොළේ සනීපාරක්ෂක පහසුකම් අවම මට්ටමක පවතී. අවශ්‍ය මුළු වැසිකිළි ගණන 15 ක් වුවත් දැනට ඇත්තේ වැසිකිළි 08 ක් පමණි.

    මෙම වෙළඳපොළේ ගනුදෙනු සඳහා විදෙස් සංචාරක පාරිභෝගිකයන් වැඩි වශයෙන් යොමු වී තිබීම විශේෂත්වයකි. එසේ පැමිණෙන පාරිභෝගිකයන් අතර තානාපති කාර්යාලවල නිලධාරීන්, නිතීඥයින් ද සිටින බව වෙළඳසැල් හිමියෝ පවසති. විදේශීය පාරිභෝගිකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනිම ද මෙම ව්‍යාපෘතියේ අරමුණකි. ඊට අමතරව දේශීය පාරිභෝගිකයන්යින් වැඩිපුර ගෙන්වා ගැනීමට ද ක්‍රියා කළ යුතු බව එම වෙළඳසැල් හිමියෝ ප්‍රකාශ කරති.

    විදේශිකයින් වැඩිපුර මෙම වෙළඳපොළට පැමිණීමට හේතුව ලෙස වෙළඳුන් දක්වනුයේ කොල්ලුපිටිය සුපිරි වෙළඳපොළ තුළ පාරිභෝගිකයන් අපේක්ෂා කරන සේවා සහ නැවුම් එළවළු, පළතුරු යනාදිය නිසි ලෙස සැපයීමට ඔවුන් වසර ගණනාවක් තිස්සේ ක්‍රියා කිරීම ය. එම පහසුකම් තවත් දියුණු කිරීම සඳහා මෙම වෙළඳපොළ නවීකරණය කිරීම වඩාත් යහපත් බව මෙම වෙළඳසැල් හිමියෝ ප්‍රකාශ කරති.
    සිල්ලර වෙළඳාම පමණක් සිදුකරන මෙම නාගරික වෙළඳපොළට දිනකට 1500 - 2000ත් අතර පාරිභෝගික පිරිසක් පැමිණෙන අතර දිනක සිල්ලර වෙළඳාම රුපියල් ලක්ෂ 50 ඉක්මවන බව වෙළඳසැල් හිමියෝ පෙන්වා දෙති.

    මීට දශක 04 කට පමණ පෙර සුපිරි වෙළඳසැල යනුවෙන් ද හැඳින්වූ කොල්ලුපිටිය වෙළඳපොළ එහි වෙළඳසැල් හිමියන්ගේ ද ඉල්ලීම මත වර්තමානයට සහ අනාගතයට ගැලපෙන ලෙස රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයෙන් (PPP) සංවර්ධනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව අතර පසුගියදා ගිවිසුම් අත්සන් කෙරිණි.

    අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර, කොළඹ මහ නගර සභාවේ පුරපතිනිය රෝසි සේනානායක සහ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂිණි දිසානායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

    එම ගිවිසුමට අනුව, කොල්ලුපිටිය වෙළෙඳපොළ මහල් 40කින් සමන්විතව නව බහු මහල් වෙළඳ පරිශ්‍රයක් ලෙස ඉදිකිරීමට නියමිත ය. අක්කරයක භූමි ප්‍රදේශයක් පුරා පැතිර ඇති කොල්ලුපිටිය වෙළඳපොළ ධර්මපාල මාවතට සහ ශාන්ත මයිකල් පාරට මැදිව කොල්ලුපිටිය නගර මධ්‍යයේ පිහිටා ඇත.

    මහල් 40ක බහු මහල් මිශ්‍ර වෙළඳ පරිශ්‍රයක් ඉදිකිරීමට තීරණය කරන ලද්දේ පවතින වෙළඳපොළට වඩා වැඩි දියුණු වෙළඳපොළක් ඇති කර ගැනීමේ අරමුණින් කොල්ලුපිටිය නාගරික වෙළෙඳපොළ සංවර්ධනය කරන ලෙස වෙළඳසැල් හිමියන් කළ ඉල්ලීම ද සලකා බලමිනි.
    ඉදිකිරීමට යෝජිත කොල්ලුපිටිය බහුමහල් වෙළඳ පරිශ්‍රය සියලු නවීන පහසුකම්වලින් සමන්විත වන අතර මහ ජනතාවට එදිනෙදා සියලු අවශ්‍යතා එමඟින් සපුරා ගැනීමට අවස්ථාව ද හිමිවෙයි. එම වෙළඳ පරිශ්‍රය තුළ නිවාස පරිශ්‍ර, කාර්යාල පරිශ්‍ර, සාප්පු පරිශ්‍ර, රථගාල්, උත්සව ශාලා, අවන්හල් සහ වෙනත් අත්‍යවශ්‍ය සේවා සඳහා පහසුකම් ලබා දීමට නියමිත වේ. කොල්ලුපිටිය වෙළඳපොළ බහු මහල් මිශ්‍ර වෙළඳ පරිශ්‍රයක් දක්වා වැඩි දියුණු කිරීමට ගෙන තිබෙන තීරණය එහි වෙළඳසැල් හිමියන්ගේ දැඩි ප්‍රසාදය හේතු වී තිබේ.