කොවිඩ් බලපෑමට ලක් වූ සංචාරක ක්ෂේත්‍රයේ ආයතන සඳහා සහන තවදුරටත්

    June, 29, 2021

    කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ අර්බුදයකට මුහුණ පා සිටින ක්ෂේත්‍රයන්හි ඇතැම් ආයතනවල සේවකයින්ගේ රැකියා අහිමි නොකර පවත්වා ගැනීම සඳහා සහන සැලසීමේ අරමුණින් යුතුව සේවායෝජකයින්, සේවක වෘත්තීය සමිති නියෝජිතයින්, කම්කරු අමාත්‍යාංශයේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් සැදුම් ලත් කාර්යසාධක බලකාය මඟින් ඉදිරිපත් කරන ලද යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මින් පෙර අනුමැතිය ලබා දී ඇත.
    ඒ අනුව, සෑම සේවකයෙකුටම සේවය කිරීමට හැකි වන අයුරින් සමානුපාතිකව අවස්ථාව ලබා දීම, සේවකයින් නිවෙස්වල රැඳී සිටිය යුතු වන්නේ නම් අවසාන වරට ගෙවන ලද සම්පූර්ණ මාසික වැටුපෙන් 50%ක් හෝ රුපියල් 14,500/-ක මුදලින් වඩා වාසිදායක මුදල ලබා දීම සහ එම වැටුප සඳහා සේවායෝජක විසින් සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට දායක මුදල් ගෙවීම යනාදී සහන 2021 ජුනි මාසය අවසානය දක්වා ක්‍රියාත්මක වනු ඇත.
    ලොව පුරා ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා සීමා පනවා තිබීම හේතුවෙන්, විශේෂයෙන්ම මෙරට සංචාරක කර්මාන්තය මේ වන විටත් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට නොහැකිව ඇති අතර, එම ක්ෂේත්‍රයේ දැඩි බලපෑමට ලක් වී ඇති ආයතන වෙත දැනටමත් ලබා දී ඇති ඉහත සඳහන් සහනයන් 2021 ජූලි මස සිට 2021 දෙසැම්බර් මස අවසානය දක්වා තවදුරටත් ක්‍රියාත්මක කිරීම පිණිස කම්කරු අමාත්‍යවරයා ගනු ලැබ ඇති පියවරයන් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.