කොළඹ කොටස්  හුවමාරුව දිවයින පුරා දියත් කරන ප්‍රාදේශීය දැනුවත් කිරීමේ යාන්ත්‍රණය යාපනයටත් ව්‍යාප්ත කරයි

    July, 29, 2021

    කොළඹ කොටස් හුවමාරුව (CSE) දිවයින පුරා විසිරී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SME) එම්පවර් පුවරුව (Empower Board) පිළිබඳව දැනුවත් කිරීම් මාලාවෙහිම කොටසක් ලෙස සංවිධානය කරන ලද තවත් එක් අථත්‍ය වැඩමුළුවක් සාර්ථකව පැවැත්වීනි. දීප ව්‍යාප්තව පැවැත්වූ වැඩසටහන් මාලාවේ සිව්වැන්න වූ මෙය සඳහා යාපනය ප්‍රදේශයේ ව්‍යවසායක ප්‍රජාව සුවිශේෂී උනන්දුවකින් සහභාගී විය.

    කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත වීමට සුදුසුකම් ඇති සමාගම් සඳහා, සාම්ප්‍රදායික අරමුදල් රැස්කිරීමේ උපායන්ගෙන් බැහැරව, ප්‍රාග්ධන අරමුදල් රැස්කිරීමේ ක්‍රමවේදයක් ලෙස ලැයිස්තුගත වීමෙහි වාසිසහගත බව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන් මාලාව පවත්වනු ලබයි.

    අටාරා කැපිටල් පාර්ට්නර්ස් පුද්. සමාගමේ (Atarah Capital Partners (Pvt) Ltd) උපදේශක මණ්ඩල සාමාජික ජෙයවර්මන් මහතා (Mr. Jeyavarman) කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් එම්පවර් පුවරුවෙහි ලැයිස්තුගත කළ යුත්තේ ඇයිද යන්න සාකච්ඡාවට බඳුන් කළ අතර, ක්‍රිස්වර්ල්ඩ් ලිමිටඩ් (Chrissworld Ltd) හි කළමනාකාර අධ්‍යක්ෂ සුරාජ් සුරවීර මහතා (Mr. Suraj Surwaweera) තම සමාගමේ ලැයිස්තුගතවීමේ ක්‍රියාවලියෙහි අත්දැකීම් සහභාගී වූවන් සමග හුවාමාරු කර ගත්තේය. අටාරා කැපිටල් පාර්ට්නර්ස් පුද්. සමාගමේ (Atarah Capital Partners (Pvt) Ltd) කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් සෙනෙවිරත්න මහතා (Mr. Rohan Senewiratne), අනුග්‍රාහකයෙකු (Sponsor) ලෙස සමාගමේ අත්දැකීම් සහ අනුග්‍රාහකයාගේ කාර්යභාරය පිළිබඳව තම අදහස් දැක්වීම සිදු කළේය. කොළඹ කොටස් හුවමාරුවේ යාපනය ශාඛාවේ වැඩ බලන කළමනාකරු එස්. සබානන්දන් මහතා (Mr. S. Sabananthan) ආරාධිත කථිකයින් සමඟ ප්‍රශ්නෝත්තර සැසියකට  සහභාගී වූ අතර එය  සහභාගී වූ ව්‍යවසායකයින් සමඟ විවෘත සංවාදයක් ඇති කරන්නට ද සමත් විය.

    එම්පවර් පුවරුව සහ කොළඹ කොටස්  හුවමාරුව පිළිබඳ වැඩි විස්තර සඳහා, www.cse.lk වෙබ් අඩවියට පිවිසෙන්න.