කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රීලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පවුල් හිමිකාරීත්වය සහිත ව්‍යාපාරවල අනාගත උන්නතිය සඳහා ලැයිස්තුගත වීමට ආරාධනා කරයි

    March, 22, 2021

    කොළඹ කොටස් හුවමාරුව , ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව හා එක්ව පවුල් හිමිකාරීත්වය සහිත සමාගම් කොටස් හුවමාරුවෙහි ලයිස්තුගත්වීම සඳහා දායක කරගැනීමේ අරමුණෙන් “Founder to Family – Leveraging Going Public” තේමාව යටතේ හමුවක් පසුගියදා කොළඹ , ශැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්විණි. මෙම හමුව පැවැත්වීමේ මූලික අරමුණ වූයේ ව්‍යාපාරයේ පාලනය රඳවා තබා ගනිමින් ලයිස්තුගතවීම හරහා වන ප්‍රතිලාභ අත්පත්කරගන්නා අකාරය සහ ලයිස්තුගතවීම සම්බන්ධයෙන් සමාජයේ වන දුර්මත පිළිබඳ සාකච්ඡාවක නිරත වීමයි.

    ගෝලීය වශයෙන් සමාගම් ලයිස්තුගත වන්නේ බැංකු ණය පරිමාණය අවම කරගනිමින් අරමුදල් සම්පාදනය විවිධාන්ගීකරණය කරගැනීමට, වර්ධනය සඳහා අරමුදල් සම්පාදනයට , සමාගමේ උන්නතිය අපේක්ෂා කරන උපායමාර්ගික ආයෝජක ආකර්ෂණයට, සමාගමේ කළමනාකරණය හා සාංගමික යහපාලන ව්‍යුහයන් ස්ථාපනයට සහ පසුකාලීන සමාගමේ පැවැත්ම තහවුරු කරගැනීම් ආදී විවිධ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහායි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති , පනාධිපති නීතීඥ විරාජ් දයාරත්න මහතා ප්‍රකාශ කළේ, “ අපගේ මූලික එක් අරමුණක් වන්නේ වෙළෙඳපොළෙහි ද්‍රවශීලතාව ඉහල නැංවීමයි. කොටස් වෙළෙඳපොළෙහි පවතින දුර්මත අතර ප්‍රධාන වන්නේ ලයිස්තුගතවීම ඉතාම අපහසු , කල් ගතවන හා මිල අධික ක්‍රියාකාරකමක් යන්නයි. නමුත් එය එසේ නොවෙයි. ප්‍රාග්ධන සම්පාදනයට පවතින හොදම අවස්ථාවලින් එකක් ලෙස මෙය හඳුන්වා දිය හැකියි. එනිසාම  සියලුම ව්‍යාපාරික ප්‍රජාව මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන  ගත යුතුමයි. මේ මොහොතේ රජය පවා ආයෝජක හිතකාමී පරිසරයක් ගොඩනංවා තිබෙනවා. පසුගිය අයවැය යෝජානාවලින් මෙම වසර අග වනතෙක් වන ලයිස්තුගතවීම් වලට බදු සහන පවා දී තිබෙනවා. එම නිසා වෙළෙඳපොළ ප්‍රවේශයකට හොඳම අවස්තාව මෙයයි.” යනුවෙනි.

    කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා අදහස් පළකරමින් කියා සිටියේ, විශාල සමාගම් ප්‍රමාණයක් කොටස් වෙළෙඳපොළට අවතීර්ණවෙමින් ප්‍රාග්ධන වර්ධනයට උපකාරී  පරිසරයක් මේ හරහා නිර්මාණය කරගැනීම සිත්ගන්නා සුලුබවත් කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තු ගත වීම් හරහා විශේෂයෙන්ම පවුල් හිමිකාරීත්වය තිබෙන සමාගම් වලට අත්පත් කරගත හැකි විවිධ ප්‍රතිලාභ, විවධ අකාරයේ මට්ටම්වල වටිනාකම්, පිළිබඳව ආමන්ත්‍රණය කිරීමට මේ සුදුම කාලය බවත්ය . එමෙන්ම පවුල් හිමිකාරීත්වය දරන සමාගම්වලට මේ හරහා ලබාගත හැකි ප්‍රමුඛතම දෙය වන්නේ පුද්ගලික සමාගමක් ලෙස සාංගමික යහපාලන මූලධර්මයන් මත පිහිටා සමාගමේ අනාගත අර්බුධ වලට මුහුණදිය හැකි වටපිටාවක් සකස් කරගැනීම බවයි.

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ පවුල් හිම්කාරීත්වය සහිත සමාගම් 70 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ මෙම හමුවෙහිදී , මූලික මහජන නිකුතුවක ස්වභාවය හා ව්‍යුහය , මහජන නිකුතුවකට පෙර හා පසු ක්‍රියාවලිය සඳහා සුදානම්වීම, නියාමන ප්‍රතිලාභ හා බදු සහන , අනාගත සහභාගීකරුවන් හා පවුල අතර අවශ්‍යතා තුලනය කරගැනීම ආදී බොහෝ කරුණු සාකච්චාවට භාජනය විය.

    CAL ආයතයෙහි , ගෝලීය වෙළෙඳපොළ හා ආයෝජන බැංකු , කලමනාකර අධ්‍යක්ෂ දේශන පුෂ්පරාජා මහතා පවුල් හිමිකාරීත්වය සහිත සමාගමක් මහජනයා වෙත යාම පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය ”පවුල් හිමිකාරීත්වය සහිත සමාගමක්  තම පවුලට සරිලන දෙය පිළිබඳව උපායමාර්ගික දෘෂ්ටියකින් බැලියයුතු මෙන්ම දීර්ඝ කාලීන බව ඉතාම වැදගත් සහ බොහෝ පවුල් හිමිකාරීත්වය සහිත ව්‍යාපාර තුන්වන පරපුරෙන් පසු වියැකී යනවා. ඒ නිසා වඩා වැදගත්වන්නේ ව්‍යාපාරයේ දීර්ඝ කාලීන පැවැත්මයි. එමෙන්ම බොහෝ දෙනා සිතන පරිදි ලයිස්තුගතවීම තුල සමාගමේ පාලනය ගිලිහී යන්නේ නැහැ . ඒ සඳහා  පුද්ගලික භාරයක් පවතවාගෙන යාම,  විවධ මට්ටමේ කොටස් තිබීම , සන්නාම හිමිකාරීත්වය ආදී දේ කළ හැකියි “

    Lynear Wealth හි කළමනාකාර අධ්‍යක්ෂ අචාර්ය නවීන් ගුණවර්ධන මහතා පවුල් හිමිකාරීත්වය සහිත සමාගමක යහපාලන ව්‍යුහයන් පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ බොහෝ පවුල් හිමිකාරීත්වය සහිත සමාගම් වලට තිබෙන ගැටලුව නම් ඔවුනගේ සමාගම් වල විධිමත් ආයෝජන හා ධනය සම්බන්ධ කළමනාකාරීත්වය නොමැති කමයි. එම නිසාම බොහෝ පවුල් ව්‍යාපාරයන් තුන්වන පරම්පරාවේදී තම ධනය අහිමි කරගැනීම ප්‍රවනතාවයි. මේ නිසාම ධනය සම්භන්ධ විධිමත් යහපාලන ව්‍යුහයන් ස්ථාපනය ඉතාම  වැදගත්. දීර්ඝකාලීනව මේ හරහා අවදානම කළමනාකරණය කරගැනීම කළ හැකියි.”

    GAJMA සහ සමාගමේ හවුල්කරු ජිතේන්ද්‍ර ගජේන්ද්‍රන් මහතා,  ඉහල යන නියාමන කටයුතු, පාලනය අහිමිවීම හා ඉහල පිරිවැය සම්භන්ධයෙන් අදහස් පළ කළේය.  එහිදී ඔහු වැඩි දුරටත්  සඳහන් කළේ බදු උපදේශනය , තැරැව්කරුවන්, මහජන සම්බන්ධතා ආයතන විගණන කටයුතු අඩිය සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවට මතයක් තිබුනද මෙම කර්තව්‍යන් හරහා සමාගමේ මූල්‍ය කටයුතු විධිමත් වනවා මෙන්ම පිරිවැය තුළින් උපරිම ධාරිතාවක් කරා සමගම මෙහෙයවීමට අවකාශයක් ලැබෙන බවයි. එමෙන්ම ඉහල වෘත්තීය භාවයක් ස්ථාපනය වීම තුල ව්‍යාපාරයේ ප්‍රතිලාභ ලැබියහැකි වේගයටකට අවතීර්ණ කළ හැකි බවයි.

    මෙම හමුව තුලදී ශ්‍රීලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සාමාජික , මනිල් ජයසිංහ, එහි අධ්‍යක්ෂ ජෙනරාල් චින්තක මෙන්ඩිස් , කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජේවර්ධන, සහ ප්‍රධානී - මූලොත්පත්ති හා නිකුතු ආයතන සබදතා පුරසිසි ජිනදාස යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් විද්වත් සාකච්ඡාවක්ද පැවැත්විණි.  එහිදී පවුල් ව්‍යාපාරයන් ලයිස්තුගතවීමකදී වන ගැටළු හා තත්වයන් පිළිබඳව අවදානය යොමු කරන ලදී.

    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සාමාජික මනිල් ජයසිංහ මහතා මෙම ලයිස්තුගතවීමේ ක්‍රියාවලිය තුලදී කොමිෂමේ දැක්ම හා ප්‍රාග්ධන වෙළෙඳපොළ තුලදී  සමාගම් වල සුරක්ෂිතභාවය ස්ථාපනයට ගෙන තිබෙන නීතීන් මෙන්ම ණය වලින් තොරව ප්‍රාග්ධනය සම්පාදනය කරගත හැකි වීම තුල අයිතිකරුවන්ට හිමි වාසි පිළිබඳව අවධානය යොමු කළේය.

    එමෙන්ම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් චින්තක මෙන්ඩිස් මහතා , ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ලයිස්තුගතවීම් සඳහා පහසුකම් සැපයීම හා එහිදී කොමිෂමේ ස්ථාවරය පැහැදිලි කරමින් කියා සිටියේ නිකුතු ආයතන හා ආයෝජකයින්ගේ විශ්වාසය සුරක්ෂිත කිරීම කෙරෙහි මෙන්ම ධනෝපායන ක්‍රියාවලිය තුලදී සම්පූර්ණ විභවතාව මුදාහැරීම සඳහා අවකාශය පවතින බවට විශ්වාසය පළ කළේය.

    ලැයිස්තුගත වීමේ ක්‍රියාවලිය , පුවරු, ලැයිස්තුගත කිරීමේ අවස්ථාවන් වෙළෙඳපොළ ගතිකයින් සමඟ වෙනස්වන අකාරය මෙන්ම පසුගිය කාල පරාසය තුල කොළඹ කොටස් වෙළෙඳපොළ නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ අකාරය හා විවිධාන්ගීකරණය වූ ප්‍රවේශයන් අනුගමනය හා නිර්මාණය කළ අකාරය පිළිබඳව කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජේවර්ධන මහතා විග්‍රහයක් සිදු කළේය.

    කොළඹ කොටස් හුවමාරුව එහි නිකුතු ආයතන සම්බන්ධතා ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත්ව හා නිර්මාණශීලීව ඉදිරියටත් කරගෙන යනු ලබන අතර එහිදී වඩාත් විධිමත් හා පැහැදිලි කරුණු මෙන්ම වර්තමාන ව්‍යාපාරික තත්වය තුල ලයිස්තුගතවීම සඳහා ඉතාම හොද අවස්තාවක් පවතින බව පෙන්වා දෙයි. මේ සඳහා ව්‍යාපාරික ආයතන වලට වැඩි විස්තර දැනගැනීම සදහා පුරසිසි ජිනදාස මහතා purasisi@cse.lk  ඊමේල් ලිපිනයෙන් හා 0112356402 දුරකථන අංකයෙන් සම්බන්ධ විය හැකියි.