කොළඹ මහ නගර සභාව විසින් ශ්‍රී ලාංකීය කලාකරුවන්ට සහ දේශීය කලා ක්ෂේත්‍රයට ශක්තියක් ලබාදීමේ අරමුණින්, දේශීය ප්‍රසංග සඳහා අදාළ බද්ද 12% සිට 7% දක්වා අඩු කිරීමට පියරව ගෙන තිබේ. කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් විසින් සමාජ මාධ්‍ය සටහනක් තබමින් මේ බව අනාවරණය කර සිටී.
නගරාධිපතිනිය විසින් තබන ලද එම සටහන පහතින් දැක්වේ.
“අපි පත්වූ අවස්ථාවේදී, කොළඹ නගරයේ ජනතාවට විනෝදාස්වාදය, සංස්කෘතික ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා සඳහා වැඩි අවස්ථා ලබාදීම පිළිබඳ ගරු ආණ්ඩුකාරතුමාගෙන් ඉල්ලීමක් ඉදිරිපත් වුණා.“
“ඒ අනුව, කොළඹ මහ නගර සභාව ලෙස අපි කළ යුතු දේ පිළිබඳ සොයා බැලූ අතර, 2026 අයවැය මඟින් විනෝද බද්ද (Entertainment Tax) අඩු කිරීමේ යෝජනාව සම්මත කළා. එම යෝජනාව මෑතකදී සම්මත වූ අතර, අදාළ ගැසට් නිවේදනයද මෑතකදී නිකුත් කෙරුණා.“
“මෙම සංශෝධනය යටතේ සියලුම විනෝද බදු කාණ්ඩවල බදු අනුපාත අඩු කර තිබෙනවා. විශේෂයෙන්ම, ශ්‍රී ලාංකීය කලාකරුවන්ට සහ දේශීය කලා ක්ෂේත්‍රයට ශක්තියක් ලබාදීමේ අරමුණින්, දේශීය ප්‍රසංග සඳහා අදාළ බද්ද 12% සිට 7% දක්වා අඩු කිරීමට අපි කටයුතු කළා.“
“නමුත් මේ සමඟ අපේ ඉල්ලීමක්ද තිබෙනවා. මෙම සහනයෙන් ලැබෙන ප්‍රතිලාභ එම ක්ෂේත්‍රයට පමණක් නොව, ජනතාව වෙතත් ළඟා විය යුතුයි.“
“ඒ නිසා ප්‍රවේශපත්‍ර මිල ගණන්වලද මෙම සහනය පිළිබිඹු වන ආකාරයෙන් කටයුතු කරමින්, තවත් ජනතාවට කලා හා විනෝදාස්වාද අත්දැකීම්වලට සහභාගී වීමට අවස්ථාව සලසා දෙන ලෙස අපි සියලු සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටිනවා.“
“කලා ක්ෂේත්‍රය දියුණු වීමත්, ජනතාවට දැරිය හැකි මිලකට ගුණාත්මක විනෝදාස්වාද අත්දැකීම් ලබාගැනීමට හැකි වීමත් යන දෙකම අපේ අපේක්ෂාවයි. ජනතාව වෙනුවෙන් ලබාදුන් මෙම බදු සහනයේ සැබෑ වාසිය අවසානයේ ජනතාවටම ලැබිය යුතු බව අපි විශ්වාස කරනවා.“