ඛනිජ ද්‍රව්‍ය විධිමත් පරිදි ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමට වැඩපිළිවෙලක්

    September, 14, 2021

    මෙරට පවතින දැනට හඳුනාගෙන ඇති ඛනිජ සම්පත් අතුරින් ආර්ථිකමය වටිනාකමක් සහිත ඛනිජ පහත සඳහන් ප්‍රධාන කාණ්ඩ 04 යටතේ වර්ගීකරණය කර තිබේ.

    * ශක්තිජනක ඛනිජ
    * ෆෙරස් සහ ෆෙරෝ ඇලොයි කාණ්ඩයට අයත් ඛනිජ
    * ෆෙරස් නොවන ඛනිජ
    * ලෝහමය නොවන ඛනිජ කාණ්ඩයට අයත් ඛනිජ

    ඒ අතුරින්, ඉල්මනයිට්, සර්කෝන්, රූටයිල් සහ මිනිරන් යන ඛනිජ කැණීම, පිරිපහදු කිරීම හා අපනයනය කිරීම දැනට ලංකා ඛනිජ වැලි සමාගම සහ කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් යන ආයතන විසින් සිදු කරන අතර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ මධ්‍යස්ථානය, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කටයුතුවල නිරත වේ.

    එකී ඛනිජ ද්‍රව්‍ය හැරුණු කොට දැනට හඳුනාගෙන ඇති අනෙකුත් ඛනිජ ද්‍රව්‍ය උපයෝජනය සම්බන්ධයෙන් රාජ්‍ය මැදිහත් වීම ප්‍රමාණවත් අන්දමින් සිදු නොවන බව පෙනී ගොස් ඇත.

    එබැවින්, එවැනි ඛනිජ ද්‍රව්‍ය විධිමත් පරිදි ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීම පිණිස වැඩ පිළිවෙලක් යෙදීම සඳහා එකී ඛනිජ ද්‍රව්‍ය සංචිත පවතින ප්‍රදේශ, එම සංචිත ප්‍රමාණ හා ඒවා භාවිතා කරමින් කළ හැකි නිෂ්පාදන පිළිබඳව සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදු කිරීම පිණිස ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුවේ නිර්දේශ අනුව අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහාත් කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.