May, 24, 2026
ආනයනික මෝටර් රථ සඳහා තාවකාලික අතිරේක බද්දක් (Surcharge) හඳුන්වා දෙමින් 2026 මැයි 15 වැනි දින නිකුත් කරන ලද අංක 2488/56 දරන ගැසට් නිවේදනය පාදක කරගනිමින්, John Keells CG Auto (පුද්) සමාගම ඇතුළු ඇතැම් වාහන ආනයනකරුවන් එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර දින ණයවර ලිපි (Letters of Credit) විවෘත කළ බවට විවිධ පාර්ශ්වයන් විසින් සිදුකරනු ලබන ප්‍රකාශ සහ චෝදනා කෙරෙහි සිය අවධානය යොමුව ඇති බව John Keells CG Auto (පුද්) සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
එහිදී ඔවුන් අවධාරණය කර සිටින්නේ, John Keells CG Auto (පුද්) සමාගම මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන අතර, අදාළ අතිරේක බද්ද පැනවීම පිළිබඳව සමාගමට කිසිදු පූර්ව තොරතුරක් හෝ දැනුමක් නොතිබූ බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටින බවයි. එසේම මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර දින BYD වාහන සඳහා කිසිදු ණයවර ලිපියක් (LC) සිය සමාගම විසින් විවෘත කර නොමැති බවද ඔවුන් දන්වා සිටී.
මේ සම්බන්ධයෙන් John Keells CG Auto (පුද්) සමාගම වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කරයි.
"මෝටර් රථ වෙළෙඳපොළේ ප්රමුඛ ආයතනයක් ලෙස, JKCG සමාගම සිය සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු යටතේ නිරන්තරයෙන් සහ ක්‍රමවත්ව වාහන ඇණවුම් කරනු ලබයි. ඒ අනුව, BYD වාහන වෙනුවෙන් අප සමාගම විසින් අවසන් වතාවට කරන ලද ඇණවුම් සියල්ල 2026 මාර්තු මාසයේ සිට අප්‍රේල් 30 වැනිදා දක්වා වූ කාලසීමාව තුළ දී සිදුකර ඇත. ඉන් අනතුරුව 2026 අප්‍රේල් 30 වැනිදායින් පසුව, අප සමාගම විසින් ණයවර ලිපි (LC) විවෘත කර නොමැති බව මෙයින් අවධාරණය කරමු.
John Keells CG Auto (පුද්) සමාගම සැමවිටම විනිවිදභාවය, යහපාලනය සහ රටේ පවතින නීති රීතිවලට පූර්ණ ලෙස අනුකූල වෙමින් කටයුතු කිරීමට බැඳී සිටී. පවතින නියාමන රාමුවට ගරු කරමින්, අපගේ පාරිභෝගික ජනතාව වෙත වගකීම් සහගත සහ විශ්වසනීය සේවාවක් අඛණ්ඩව සැපයීමට අප සමාගම නිරන්තරයෙන් කැපවී සිටින බව මෙයින් වැඩිදුරටත් දන්වා සිටිමු."

Video Story