චීනයේ දැවැන්ත සමාගමක් බංකොලොත් වීමේ අවදානමක

    September, 21, 2021

    චීනයේ දැවැන්ත දේපළ සංවර්ධක සමාගමක් වන Evergrande සමාගම බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇති බව වාර්තා වේ. මෙය ඊයේ (20) දින සිට ජාත්‍යන්තර මාධ්‍යයන් හි ප්‍රමුඛ පුවතක් බවට පත් වී ඇත්තේ මේ හරහා ගෝලීය ආර්ථිකයට ද දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවට ආයෝජකයින් විසින් අවධානය යොමු කර ඇති බැවිනි.

    Evergrande සමාගම හඳුන්වන්නේ ලොව වඩාත්ම ණයගැති නිශ්චල දේපළ සංවර්ධකයා (world's most indebted real estate developer) ලෙසයි. ඔවුන් ණය ලබා ගැනීම සඳහා නිකුත් කර තිබෙන බැඳුම්කර වෙනුවෙන් මෙම සතියේ බ්‍රහස්පතින්දා වන විට ඩොලර් මිලියන 84 ක පොලියක් ගෙවීමට නියමිතය. සතිය තුළ දී මෙම ණය පියවීමේ වගකීම සපුරාලීමට නොහැකි මට්ටමක සමාගම පසු වූ බැවින් සිය ආයෝජකයින් හට මුදල් වෙනුවට දේපළ ආපසු ලබා දීම ආරම්භ කර තිබුණි. 

    චීනයේ විශාලතම සමාගමක් බවට පත්වූ Evergrande සමාගම සිය ව්‍යාපාර සීඝ්‍ර ලෙස පුළුල් කිරීම සඳහා ඩොලර් බිලියන 300කට අධික ප්‍රමාණයකට ණය ගෙන ඇත. මෙවැනි වාතාවරණයක් තුළ විශාල දේපළ සංවර්ධකයින් විසින් ගනු ලබන ණය පාලනය කිරීම සඳහා චීන රජය පසුගිය නව නීති ගෙන එනු ලැබීය. මෙම තත්ත්වය තුළ සිය ව්‍යාපාර නොනැසී පවත්වාගෙන යාම වෙනුවෙන් මුදල් ප්‍රවාහ තහවුරු කිරීම සඳහා විශාල වට්ටම් සහිතව සිය දේපළ ලබා දීමට Evergrande සමාගම පියවර ගත්තේය.

    Evergrande සමාගම ගත් ණය සඳහා පොලී ගෙවීමේ බරපතල උගුලේ ඔවුන් දැන් ‌පොරබදමින් සිටී. මෙම අවිනිශ්චිතතාවය හේතුවෙන් මේ වසරේ Evergrande හි කොටස් මිල 85% කින් පමණ පහත වැටී ඇත. ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් එහි බැඳුම්කර ද පහත දමා ඇත.

    Evergrande කඩාවැටීම තනි සමාගමක අර්බුදයක් පමණක් ‌‌නොවේ. ඒය ගෝලීය ආර්ථික බලපෑමක් ඇතිකරලීමට සමත් කරුණකි. බොහෝ ගැනුම්කරුවන් Evergrande වෙතින් දේපළ මිල දී ගෙන ඇත්තේ ඉදිකිරීම් ආරම්භ කිරීමටත් පෙරදීය. එබැවින් සමාගම කඩාවැටුණහොත් ඒම ගැනුම්කරුවන් හට මුදල් අහිමි වීමේ අවදානමක් ඇත.

    මීට අමතරව ගෝලීය වශයෙන් මුහුණ දිය හැකි තවත් දැවැන්ත ගැටළුවක් වන්නේ Evergrande සමඟ ව්‍යාපාර කරන ඉදිකිරීම්, සැලසුම් සමාගම් සහ ද්‍රව්‍ය සැපයුම්කරුවන් ඇතුළු සමාගම් විශාල සංඛ්‍යාවක් අලාභ ලැබීමේ අවදානමට ලක්ව තිබීමයි. එමඟින් ඒම සමාගම් ද බංකොලොත්භාවයට පත් විය හැකි බවට දැඩි අවදානමක් මතුව තිබේ.

    මේ සම්බන්ධයෙන් Business Standard ප්‍රවෘත්ති වෙබ් අඩවිය වාර්තා කර සිටින්නේ ඊයේ (20) දිනයේ දී BSE Metal index දර්ශකය 6.8% කින් පහළ යාමට Evergrande අර්බුදකාරීත්වය හේතු වී ඇති බවයි. BSE Metal index යනු බොම්බේ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති ප්‍රමුඛතම ඉන්දියානු ලෝහ හා කැණීම් සමාගම් 10 ඇසුරින් සකස් කෙරෙන දර්ශකයයි. 

    Evergrande කඩා වැටීම චීන ආර්ථිකය ද බරපතල ‌අර්බුදයකට නිසැකයෙන්ම යොමු කරනු ඇත. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ Evergrande සමාගම චීනයේ දේශීය බැංකු 171 කට සහ වෙනත් මූල්‍ය සමාගම් 121 ක ණය වී ඇති බවයි. එබැවින් යම් ආකාරයක ණය පැහැර හැරීමක් සිදුවුවහොත් එය ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියනු ලබන රාජ්‍යයයේ මූල්‍ය පද්ධතිය දැඩි අනතුරක හෙලනු ඇත. තවද ගෝලීය ආයෝජකයින් හට චීන සමාගම් පිළිබඳව ඇති විශ්වාසය පළුදු වීමට ද Evergrande වැනි සමාගම් හේතුවනු ඇත.

    ව්‍යාපාරික Hui Ka Yan විසින් 1996 දකුණු චීනයේ ගුවැන්ෂෝ හිදී Hengda Group ලෙස හැඳින්වූ Evergrande ආරම්භ කළේය. Evergrande Real Estate වර්තමාන‌යේ දී චීනය පුරා නගර 280 කට වැඩි ගණනක ව්‍යාපෘති 1,300 කට වැඩි සංඛ්‍යාවකට හිමිකම් කියනු ලබයි. Evergrande හි ව්‍යාපාරික කටයුතු අද වන විට තවත් ක්ෂේත්‍ර ගණනාවකටම ව්‍යාප්ත කර ඇත. වත්කම් කළමනාකරණ, විදුලි මෝටර් රථ නිෂ්පාදනය, ආහාර හා පානවර්ග නිෂ්පාදනය ඒ අතර වේ. ෆෝබ්ස් සඟරාවට අනුව Hui Ka Yan ගේ පෞද්ගිලක වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 10.6 ක් පමණ වේ.