චීනයේ ෂැන්හයි නුවර පැවැති “MWC Shanghai 2026” රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවේදී කලාපීය ඩිජිටල් ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ අවධානය

    June, 26, 2026

    ඩිජිටල් සේවාවන් කෙරෙහි පවතින විශ්වාසය ආරක්ෂා කිරීම සහ ආසියා-ශාන්තිකර (APAC) කලාපය තුළ වර්ධනය වෙමින් පවතින මූල්‍ය වංචා හා කූටෝපායන්ට (Scams and Fraud) විසඳුම් සෙවීම අරමුණු කරගත් විශේෂ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් 2026 ජූනි 25 වන දින චීනයේ ෂැන්හයි නුවර, කෙරී හෝටල් (Kerry Hotel) පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී. GSMA ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාව, "MWC Shanghai 2026" ජාත්‍යන්තර සමුළුවට සමගාමීව ආරාධිතයන් සඳහා පමණක් විවෘත වූ සංවෘත සැසියක් (Closed-door) ලෙස පවත්වනු ලැබීය.

    මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා  සහභාගී වූ අතර, කලාපීය ඩිජිටල් ආර්ථිකය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සක්‍රීය දායකත්වය එහිදී මැනවින් ප්‍රදර්ශනය කෙරිණි.

    ආසියා-ශාන්තිකර සහ ආසියානු (ASEAN) කලාපීය රටවල පාරිභෝගික ආරක්ෂණය, ඩිජිටල් සේවා සහ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව බිඳදමමින් ක්‍රියාත්මක වන සීමාන්තර (Cross-border) වංචනික ක්‍රියාවලීන්ට එරෙහිව ප්‍රතිපත්ති සම්පාදකයින් සහ නියාමකයින් ඒකාබද්ධව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. විශේෂයෙන්ම, වංචාකරුවන් විසින් කෘතිම බුද්ධිය (AI) සහ ස්වයංක්‍රීයකරණය (Automation) උපයෝගී කරගනිමින් දියත් කරන නවීන තර්ජන හමුවේ, ඊට සරිලන ඩිජිටල් ආරක්ෂණ පද්ධති සහ ප්‍රතිපත්තිමය මෙවලම් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු විය.

    මෙහි දෙවන සාකච්ඡා වටය "Building a Secure and Resilient Digital Future: AI, Automation and the Next Frontier of Anti-Scam Defence" යන තේමාව යටතේ පැවැත්වුණු අතර, එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පැනල ප්‍රවීණයන් පෙන්වා දුන්නේ වංචා නිෂ්ක්‍රීය තාක්ෂණයන් දියුණු කිරීම, මේ සඳහා පුද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කිරීම සහ කෘතිම බුද්ධියේ අවදානම් කළමනාකරණය කරමින් එහි ප්‍රතිලාභ උපරිමයෙන් ලබාගත යුතු බවයි. තවද, රටවල් අතර පවතින නීතිමය බලතල සහ බලාත්මක කිරීමේ ආකෘති එකිනෙකට වෙනස් වුවද, පොදු මූලධර්ම හා ප්‍රායෝගික අත්දැකීම් හුවමාරු කරගනිමින් ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කරගැනීමේ වැදගත්කම මෙම සැසියේදී අවධාරණය කෙරිණි.

    GSMA ආයතනයේ ආසියා-ශාන්තිකර කලාපීය පොදු ප්‍රතිපත්ති සහ බාහිර කටයුතු ප්‍රධානී ජෙනට් වයිට් (Jeanette Whyte) මහත්මියගේ පිළිගැනීමේ කතාවෙන් ආරම්භ වූ මෙම සාකච්ඡාව සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් (විශ්‍රාමික) මහතා, කලාපීය රටවල් නියෝජනය කරමින් තායිලන්තයේ ඩිජිටල් ආර්ථික සහ සමිති පිළිබඳ අමාත්‍ය චයිචනොක් චිඩ්චොබ් (Chaichanok Chidchob) මහතා, මාලදිවයින සන්නිවේදන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ඉල්යාස් අහමඩ් (Ilyas Ahmed) මහතා, මැලේසියාවේ සන්නිවේදන අමාත්‍යාංශයේ නියෝජ්‍ය මහලේකම් මනෝ වීරබතිරන් (Mano Verabathran) මහතා සහ චීන සයිබර් ආරක්ෂණ සංගමයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලූ වෙයි (LU Wei) මහතා ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයින් මෙන්ම ආරාධිත නියෝජිත පිරිසක් සහභාගී වූහ.

    Video Story

    Stock Market

    Exchange Rates