ජනතාව කබලෙන් ගෑස් ලිපට?

    August, 10, 2021

    ගෑස් හිඟය දිනෙන් දින උග්‍ර වන ලකුණු

    මේ වන විට වෙළෙඳපොළේ ගෘහස්ථ ඒල් පී ගෑස් හිඟයක් නිර්මාණය වී තිබීම හේතුවෙන් ජනතාව පත්ව ඇති අපහසුතාවය පිළිබඳව වරින් වර ජනමාධ්‍ය විසින් අනාවරණය කරමින් සිටී. කෙසේවෙතත් ඒ සඳහා බලධාරීන්ගෙන් මේ දක්වා ප්‍රමාණවත් අවධානයක් ලැබී නොමැති බව, දිවයින පුරා ඒල් පී ගෑස් අලෙවි ස්ථානයන් හි දක්නට ලැබෙන දිගු පෝලිම් සහ 'ගෑස් නැත' පුවරු ඊට සාක්ෂි දරනු ඇත.

    ගෑස් හිඟයට මූලික හේතුව වූයේ මෙරට ද්‍රවීකෘත පෙට්‍රොලියම් ගෑස් හෙවත් ඒල් පී ගෑස් කර්මාන්තයේ නිරත වූ ප්‍රධාන සමාගම් ‌‌දෙකින් ඒකක් වන ලාෆ්ස් ගෑස් සමාගම සිය ව්‍යාපාරයෙන් මේ වන විට ඉවත්ව තිබීමයි. ඒ හරහා ලාෆ්ස් ගෑස් බෙදාහැරීම සිදුකරනු ලබන කහ පැහැති ගෑස් සිලින්ඩර හිමි පාරිභෝගිකයන් සති ගණනාවක සිට මෙකී අර්බුදයෙන් පීඩා විඳිනු ලබන අතර ඒ හේතුවෙන් ඔවුන් ලිට්රෝ ගෑස් සමාගම විසින් බෙදාහරිනු ලබන නිල් පැහැති සිලින්ඩර අලුතෙන්ම මිලට ගැනීමට පෙළඹී තිබේ. මේ හේතුවෙන් වෙළෙඳපොළ තුළ ඇති වී තිබෙන සමස්ත ඉල්ලුම ලිට්රෝ සමාගමේ සැපයුම් ධාරිතාව ඉක්මවා ගොස් ඇති පසුබිමක ගෑස් හිඟයක් නිර්මාණය වීම නොවැළැක්විය හැකි කරුණකි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති  ඩබ්.කේ.එව් වෑගපිටිය මහතා කියා සිටියේ ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමේ ගැටලුකාරි තත්ත්වය හේතුවෙන් ගෑස් හිඟයක් නිර්මාණය වූ බවයි. "රට තුළ තිබෙන විදේශ විනිමය ප්‍රශ්නයක් නිසා අපි අද අපහසුතාවයට ලක්ව තිබෙනවා. එය තවත් වර්ධනය වෙලා තියෙනවා පසුගිය වසර පුරාම ලංකාවට ගෑස් ආනයනය කරලා විකුණුවේ පිරිවැයට වඩා අඩුවෙන්. ඕනෑම කෙනෙක් රුපියල් 100ට යමක් ගෙනල්ලා රු 50ට විකුණුවොත් එය කාලයක් යන විට මුල්‍ය සංසරණය නතර වෙනවා. මේකට බලපෑ ප්‍රධානම කාරණය තමා පසුගිය වසර එකහමාර තුළ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අස්වාභාවික ලෙස වැඩිවීම."

    පවතින තත්ත්වය තුළ ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයට පත්ව සිටින්නේ විකල්පයක් ලෙස ලිට්රෝ ගෑස් වෙත යොමුවුවහොත් ඔවුන් හට නව තැන්පතු මුදලක් ගෙවා ලිට්රෝ ගෑස් සිලින්ඩර ලබා ගැනීමට සිදුවන හෙයිනි. ඒසේම ලාෆ්ස් ගෑස් සමාගම, ගෘහස්ථ ගෑස් සිලින්ඩර ව්‍යාපාරයෙන් ඉවත්වන්නේ නම්, ඔවුන් විසින් තැන්පතු මුදලක් තබාගෙන නිකුත් කර ඇති කහ පැහැති සිලින්ඩර නැවත ලබා ගෙන පාරිභෝගිකයාට අදාළ මුදල පූරණය කළ යුතු වුවත් ඒවැනි මුලපිරීමක්වත් මේ වන තෙක් වාර්තා වන්නේ නැත. ඒසේ නැතහොත් කහ සිලින්ඩරය තබා ගෙන නිල් පැහැති ලිට්රෝ ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට ලිට්රෝ සමාගම කටයුතු කළ යුතුය. මේ ඒකදු කරුණක් හෝ මේ වන විට ක්‍රියාත්මක වන්නේ නැත. මෙකී වාතාවරණය තුළ තැන්පතු මුදල් තබා ගනිමින් නව ලිට්රෝ ගෑස් සිලින්ඩර නිකුත් කිරීම ද බොහෝ අලෙවි නියෝජිතයින් අත්හිටුවා තිබේ.

    2021 ජුනි මස 07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙරට ඒල් පී ගෑස් කර්මාන්තය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ ලබා ගැනීම සඳහා වෙළෙඳ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය අනුකාරක සභාවක් පත් කිරීමට තීරණය වුණි. ඒහිදී ගෑස් මිල දී ගැනීම, ප්‍රවාහනය සහ ගබඩා කිරීම, ලිට්රෝ සහ ලාෆ්ස් යන සමාගම් දෙක විසින්ම ඒකාබද්ධව සිදු කිරීම හා ඒ සඳහා හම්බන්තොට ගෑස් පර්යන්තය යොදා ගැනීමට නිර්දේශ කෙරුණු අතර රටට අවශ්‍ය එල්පී ගෑස් මිල දී ගැනීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු, ප්‍රවාහනය හා ගබඩා කිරීමේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලාෆ්ස් ගෑස් සමාගමේ නියෝජිතයින් ද ඇතුළත් අදාළ ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ දැනුම සහිත නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද නිර්දේශ කෙරුණි. ඒහිදී ඉදිරිපත් වූ තවත් යෝජනාවක් වූයේ අනුකාරක සභාව විසින් නිර්දේශිත ක්‍රමවේදය ඉදිරි මාස 06 තුළ ක්‍රියාත්මක කර එහි ප්‍රගතිය මත යෝග්‍ය ඉදිරි පියවර ගැනීමයි. කෙසේ වෙතත් අදාළ මාස 06න් මාස 02 ක් ‌මේ වන විට ගෙවී අවසන්ය. රට තුළ ගෑස් හිඟයකි. අමාත්‍ය අනුකාරක සභාවේ නිර්දේශ පුස්සක් වී ඇත.

    පහත දැක්වෙන්නේ ඊයේ (අගෝස්තු 09) අද දෙරණ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය හරහා පවතින ගෑස් අර්බුදය විමසූ අවස්ථාවකි. පවතින තතත්වය තුළ ඊයේ (09) කැබිනට් මණ්ඩල හමුවේ දී මේ සම්බන්ධයෙන් තීරණයක් ගත්තා දැයි අද (10) දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අනාවරණය වනු ඇත. ඒසේ නැතහොත් ඉදිරියේ දී මැටි උදුන්, භූමිතෙල් උදුන්, විදුලි උදුන් ආදී ගෑස් උදුන් සඳහා වන ආදේශකයන් සම්බන්ධ වෙළෙඳ ප්‍රචාරණයන් වැඩි වශයෙන් අපට අසන්නට දකින්නට අවස්ථාව උදා වනු ඇත.