August, 13, 2026
ජනශක්ති සමූහ ව්‍යාපාරය (Janashakthi PLC - JXG) විසින් Continental Insurance Lanka Limited (CILL) හි 100%ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීම සඳහා එහි එකම කොටස් හිමිකරු වන Melstacorp PLC (MELS) සමඟ කොටස් මිල දී ගැනීමේ ගිවිසුමකට අත්සන් තබා තිබේ.
මෙම ගනුදෙනුව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව සිදුවනු ඇත.
මේ යටතේ JXG විසින් Continental Insurance Lanka Limited හි පාලක කොටස් හිමිකාරිත්වයෙන් 81%ක කොටස් ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට නියමිත අතර ඉතිරි කොටස් ප්‍රමාණය අදියරෙන් අදියර අත්පත් කර ගැනීමට නියමිතය. ඒ පළමු වසරේ දී 9%ක් හා ඊළඟ වසරේ දී 10%ක් වශයෙන් එම කොටස් හිමිකාරීත්වය අත්පත් කරගැනීමෙනි.
Janashakthi PLC (JXG) විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇති පරිදි මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීමේ ගනුදෙනුවේ සමස්ත වටිනාකම රු. බිලියන 5.14 (රු. 5,144,636,012/-) කි.
මේ සම්බන්ධයෙන් ජනශක්ති සමූහය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
මෙය සමූහයේ සාමාන්‍ය රක්ෂණ (General Insurance) සේවාවන් පුළුල් කරන අතරම, මූලික මහජන කොටස් නිකුතුවේ (IPO) දී ප්‍රකාශයට පත් කරන ලද ක්‍රමෝපායික සැලසුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා තබන ලද වැදගත් පියවරක්ද වේ. මෙම ගනුදෙනුව හරහා සමූහය තමන්ට දීර්ඝ පළපුරුද්දක් හා උරුමයක් සහිත වෙළඳපොළකට යළි පිවිසෙන අතර, ඒ ඔස්සේ ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම මූල්‍ය සමූහ ව්‍යාපාරයක් ලෙස තමන් සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරගනිමින්, පූර්ණ ඒකාබද්ධ මූල්‍ය සේවා ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීම සම්බන්ධ තම දැක්ම යථාර්ථයක් බවට පත්කර ගැනීම සමූහයේ අරමුණ වී තිබේ.
මෙම අත්පත් කර ගැනීම හරහා JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) සතු විශේෂඥ දැනුම, පළපුරුද්ද සහ ශක්තිමත් ආයතනික පාලන ක්‍රමවේද සමඟ වෙළඳපොළ තුළ CILL සතු ස්ථාවර පැවැත්ම ඒකාබද්ධ වීම තුළින් සමූහයේ මූල්‍ය සේවා එකතුව කැපීපෙනෙන ලෙස ශක්තිමත් වනු ඇත. නවීන තාක්ෂණය සහ නවෝත්පාදනය ඔස්සේ ගනුදෙනුකරුවන්ට වඩාත් පුළුල් මට්ටමේ ඒකාබද්ධ මූල්‍ය සේවාවන් එකතුවක් මෙන්ම විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබාදීමට ජනශක්ති සමූහ ව්‍යාපාරය බලාපොරොත්තු වෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සාමාන්‍ය රක්ෂණ සමාගම් අතරින් එකක් ලෙස සැලකෙන CILL හි කොටස් හිමිකාරීත්වය ලබාගැනීම තුළින් ජනශක්ති සමූහ ව්‍යාපාරයේ ව්‍යාපාරික පදනම පෙරටත් වඩා ශක්තිමත් වී තිබේ. 2025 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළදී CILL සමාගම රුපියල් බිලියන 10.73 ක මුළු වාරික වටිනාකමක් (Gross Written Premium – GWP), රුපියල් බිලියන 6.64 ක ආයෝජන වටිනාකමක් සහ රුපියල් බිලියන 14.20 ක සමස්ත වත්කම් වටිනාකමක් වාර්තා කර ඇත. එමෙන්ම මැනැවින් විවිධාංගීකරණය වූ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරයක්, දිවයින පුරා විසිරුණු සේවා ස්ථාන 61 කින් සමන්විත පුළුල් බෙදාහැරීමේ ජාලයක් සහ 700 කට අධික පිරිසකගෙන් යුත් කාර්ය මණ්ඩලයක් CILL සතු වේ. මෙම කොටස් හිමිකාරීත්වය හරහා ජනශක්ති සමූහයට සිය රක්ෂණ සේවා අංශය තවදුරටත් පුළුල් කිරීමට හැකි වන අතර, ඒ ඔස්සේ සිය ගනුදෙනුකරුවන්, සාමාජික සාමාජිකාවන් සහ කොටස් හිමියන් සඳහා දීර්ඝකාලීන ප්‍රතිලාභ පිරිනැමීමට අවස්ථාව හිමි වනු ඇත.
Video Story