ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 780 ක්

    June, 14, 2021

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජික රටක් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 780 ක පමණ මුදලක් ලැබීමට නියමිත බවත් ඒය ඒළඹෙන අගෝස්තු - සැප්තැම්බර් මාස වන විට ලැබෙනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා පවසයි. පසුගිය දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව අනාවරණය කළේය. මෙය ණය පහසුකමක් නොවන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය දරන සෑම රටකටම හිමි වන දෙයක් බවත් අමරසේකර මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    "මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය දරන සෑම රටකටම දෙන ඒකක්. ණය පහසුකමක් නෙමෙයි. අපේ ලැබීමක්. රජය කිසිදු තීරණයක් අරගෙන නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබා ගැනීමට. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ කටයුතු කරගෙන යනවා ආර්ථික තත්ත්වය ගැන විමසීම වැනි තාක්ෂණික සහයෝගීතාව ලබා ගැනීමට. නමුත් රජය තීරණයක් අරගෙන නැහැ මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත් ණයක් ගැන කතා කරන්න", යැයි ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා පැවසීය.