මෙම මගඩිය පිළිබදව ඔබ අවධානයෙන් පසුවිය යුතුමය. එය එතරම් සූක්ෂ්මය. ඊට පහසුවෙන් ගොදුරු වීමට ඉඩ ඇත්තේ ඉතා නීත්‍යනුකූල ආකාරයෙන් මෙම වංචාව සිදුකිරීමට වංචනිකයන් පියවර ගෙන තිබීම නිසාය.
පළමුව මෙම වංචාකරුවන් ඔබට WhatsApp පණිවිඩයක් එවනු ලබන්නේය. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ලෙස සදහන් එම පණිවිඩය ඉතා නිල පණිවිඩයක ස්වරූපයක් උසුලන්නේය. නිල දුරකතන අංක, ඊමේල් ලිපිනයන් සහිත එම පණිවිඩය මෙසේය.
“පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනතට අනුව, ඔබගේ ජාතික හැඳුනුම්පත් (NIC) තොරතුරු යාවත්කාලීන කිරීම සහ සත්‍යාපනය කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට (DRP) නිල වශයෙන් ආරාධනා කරනු ලැබේ. මෙම අභ්‍යාසය අපගේ මධ්‍යම අනන්‍යතා දත්ත සමුදායේ ආරක්ෂාව සහ නිරවද්‍යතාවය වැඩි දියුණු කිරීම සඳහා වන ජාතික මුලපිරීමක කොටසකි.”
මෙම පණිවිඩය ලැබෙන තැනැත්තාගේ සම්පූර්ණ නම, හැදුනුම්පතේ සදහන් ලිපිනය මෙන්ම ජාතික හැදුනුම්පත් අංකයද එහි සදහන් වන නිසා මේ සම්බන්ධව කිසිදු හෝ සැකයක් ඇතිවන්නේ නැත.
තොරතුරු යාවත්කාලීන කිරීම සදහා පැමිණිය යුතු දිනය, වේලාව සහ ස්ථානය මෙන්ම, රැගෙන ආයුතු මුල් ලේඛන, ජෛවමිතික සත්‍යාපනය (දකුණු මාපටැඟිල්ල), නිල ප්‍රකාශනය අයදුම්කරුගේ අත්සන වැනි තොරතුරුද එහි අඩංගු නිසා කිසිදු සැකයක් ඇතිවීමට ඉඩක් නොමැත.
ලිපිය එවනු ලබන් නිලධාරීයාගේ නම සහ තනතුරු කොමසාරිස් ජනරාල්ගේ නියෝගය පරිදි එම පණිවිඩය නිකුත් කරන බවද එහි සදහන්ය.
මේ හේතුවෙන් එම පණිවිඩයේ සදහන්ව ඇති වෙබ් අඩවිය නිවැරදි නොවන බව හෝ වටහාගැනීමට පණිවිඩය ලබන තැනැත්තා අපොහොසත්ය.
එම පණිවිඩයේ සදහන් තීරණාත්මක උපදේශනය වනුයේ පහත දැක්වෙන පණිවිඩයයි.
“මෙම සත්‍යාපනයට සහභාගී වීමට අපොහොසත් වීමෙන් ඔබගේ ජාතික හැඳුනුම්පතට සම්බන්ධ සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට හේතු විය හැක. ඔබට නැවත කාලසටහන්ගත කිරීමට අවශ්‍ය නම්, කරුණාකර ඔබගේ හමුවීමට අවම වශයෙන් පැය 24 කට පෙර හි අපගේ උපකාරක අංකය අමතන්න.”
බොහෝදෙනෙක්ට මෙම පණිවිඩය ලැබී තිබුනේ අවසන් මොහොතේය. එබැවින් ඔවුන් වහා කලේ ලබාදී ඇති අංකයට ඇමතුමක් ලබාදීමය.
වංචනිකයන්ට අවශ්‍ය එම ඇමතුම පමණි. ඉන්පසු අයදුම්පතක් පිරවීම හරහා OTP ඇතුළු මුරපදයන් ලබාගන්නා වංචාකරුවන් බැංකු ගිණුම් හිස් කරනු ලබන්නේ කාටත් නොදැනෙන්නටය.
මෙම වංචාව පිළිබදව අවධානයෙන් පසුවන ලෙස හැමදෙනාගෙන් ඉල්ලා සිටින ශ්‍රී ලංකා CERT ආයතනය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව Whatsapp හරහා කිසිදු හෝ තොරතුරු සත්‍යාපනයක් සිදු නොකරන බවද දන්වා සිටී.