July, 3, 2026
ජෝන් කීල්ස් පාරිභෝගික ආහාර අංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය (PIM) සමඟ ඒකාබද්ධව සමස්ත අංශයම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ Aspire විධායක සංවර්ධන වැඩසටහන 36 දෙනෙකුගේ උපාධි ප්‍රදානයත් සමඟ සාර්ථකව නිමාවට පත් විය. මෙමඟින් අනාගතයට ගැළපෙන නායකත්වයක් නිර්මාණය කිරීම උදෙසා වූ තම කැපවීම තවදුරටත් තහවුරු කිරීමට එම අංශය සමත් වී ඇත.
මෙම උපාධි ප්‍රදානය එම අංශයේ අඛණ්ඩ මානව සම්පත් සංවර්ධන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. නැගී එන විධායක නිලධාරීන් අතර නායකත්ව හැකියාවන්, ව්‍යාපාරික ඥානය, උපායමාර්ගික චින්තනය සහ අන්තර් ක්‍රියාකාරී සහයෝගීතාව ශක්තිමත් කිරීම එහි ඇති ප්‍රධාන අරමුණ වේ. ශීඝ්‍රයෙන් වෙනස් වන ව්‍යාපාරික ප්‍රමුඛතා සමඟ පුද්ගලික වර්ධනය සමපාත වන අයුරින් සැලසුම් කර ඇති මෙම වැඩසටහන, ශාස්ත්‍රීය ඉගෙනුම, අන්තර් ක්‍රියාකාරී සම්බන්ධතාවන් සහ ප්‍රායෝගික ව්‍යාපෘති එකිනෙක මුසු කරමින් සකස් කර තිබූ බැවින්, සහභාගිවන්නන්ට නායකත්ව සංකල්ප සැබෑ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ප්‍රායෝගිකව අත්හදා බැලීමට අවස්ථාව සැලසුණි.
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී යටතේ ක්‍රියාත්මක වන ජෝන් කීල්ස් පාරිභෝගික ආහාර අංශය, ශ්‍රී ලංකාව තුළ දීර්ඝකාලීන උරුමයක් ඇති 'එලිෆන්ට් හවුස්' සහ 'කීල්ස් ක්‍රෙස්ට්' වැනි ප්‍රමුඛ පෙළේ ආහාර හා පාන වර්ග සන්නාමයන්ගෙන් සමන්විත වේ. “Aspire” වැනි අධ්‍යාපනික හා වෘත්තීය සංවර්ධන වැඩසටහන් හරහා, තිරසාර ව්‍යාපාරික වර්ධනයක සහ දිගුකාලීන ආයතනික ඔරොත්තු දීමේ හැකියාව සහතික කෙරෙන ප්‍රධාන සාධක ලෙස ව්‍යුහාත්මක ඉගෙනුම සහ කුසලතා වර්ධනය උදෙසා ආයෝජනය කිරීමට මෙම අංශය අඛණ්ඩව කටයුතු කරයි.
ජෝන් කීල්ස් පාරිභෝගික ආහාර අංශයේ සභාපති දමින්ද ගම්ලත් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙලෙස කියා සිටියේ ය. "අනාගත සංවර්ධනය සඳහා ශක්තිමත් සහ නිශ්චිත අරමුණක් සහිත නායකත්වයක් අත්‍යවශ්‍යයයි යන අපගේ විශ්වාසය 'Aspire' විධායක සංවර්ධන වැඩසටහන මඟින් මැනවින් නිරූපණය වෙනවා. තමන්ගේ සාම්ප්‍රදායික වගකීම් සීමාවන්ගෙන් ඔබ්බට සිතීමේ හැකියාව, කැපවීම සහ කුතුහලය ප්‍රදර්ශනය කළ මෙම සහභාගිවන්නන් 36 දෙනාගේ උපාධි ප්‍රදානය සැමරීමට ලැබීම අපට මහත් ආඩම්බරයක්. ඔවුන්ගේ මෙම වර්ධනය ඔවුන්ගේ පුද්ගලික වෘත්තීය ජීවිතය වෙනුවෙන් කරන ආයෝජනයක් පමණක් නොව, අපගේ ව්‍යාපාරවල අඛණ්ඩ ප්‍රගතිය වෙනුවෙන් කරන ආයෝජනයක් ද වෙනවා."
ජෝන් කීල්ස් පාරිභෝගික ආහාර අංශයේ මානව සම්පත් ප්‍රධානී ඉමානි පෙරේරා මහත්මිය අදහස් දක්වමින් මෙසේ පැවසුවාය. “'Aspire' වැඩසටහන සැලසුම් කර තිබුණේ අපගේ විධායක නිලධාරීන්ට ඉහළ වටිනාකමක් සහිතව නායකත්වය දීමට අවශ්‍ය මෙවලම්, ක්ෂේත්‍ර අත්දැකීම් සහ විශ්වාසය ලබා දෙමින්, ඔවුන්ගේ පුද්ගලික මෙන්ම සාමූහික විභවතාවන් මුදා හැරීම සඳහායි. මෙම වැඩසටහන සාර්ථකව නිම කිරීම, ආයතනය තුළ සිටින දක්ෂයින් ඇගයීමට ලක් කරමින් ඔවුන්ව වඩාත් ඉහළ වගකීම් සහිත අනාගත නායකත්ව භූමිකාවන් සඳහා සූදානම් කිරීමට අප අඛණ්ඩව දක්වන අවධානයට සාක්ෂියක්."
ව්‍යාපාරික වර්ධනයට අත්වැලක් වන සහ සේවකයින්ව අනාගත උපායමාර්ගික භූමිකාවන් සඳහා සූදානම් කරන ව්‍යුහාත්මක ඉගෙනුම, නායකත්ව සංවර්ධනය සහ කුසලතා වර්ධන මුලපිරීම් හරහා ජෝන් කීල්ස් පාරිභෝගික ආහාර අංශය සිය මානව සම්පත් සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට රැගෙන යනු ඇත.
Video Story