ටයර් සහ අත්වැසුම් අපනයන ආදායම් ඉහළට

    August, 16, 2021

    වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2021 වසරේ ජූනි මාසයේ දී ඒක්සත් ජනපද ඩොලර් මිලියන 1,007 ක් දක්වා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 12.6කින් ඉහළ ගියේය. 2021 වසරේ ජනවාරි සිට ජූනි දක්වා සමස්ත අපනයන ආදායම, 2020 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ ඒක්සත් ජනපද ඩොලර් මිලියන 4,413 සඒ 2019 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ ඒක්සත් ජනපද ඩොලර් මිලියන 5,999 ට සාපේක්ෂව, ඒක්සත් ජනපද ඩොලර් මිලියන 5,699ක් ලෙස වාර්තා විය. 2021 මැයි මාසයට සාපේක්ෂව 2021 ජූනි මාසයේ දී අපනයන සියයට 12.9කින් වර්ධනය විය.

    පුළුල් පදනමක් යටතේ බොහෝ අපනයන කාණ්ඩවල ආදායම ඉහළ යෑම හේතුවෙන්, කාර්මික භාණ්ඩ අපනයන ආදායම 2020 වසරේ ජූනි මාසයට සාපෙක්ෂව, 2021 වසරේ ජුනි මාසයේ දී සියයට 16.6කින් ඉහළ ගියේය. ටයර් සහ අත්වැසුම් ඇතුළත් වන පරිදි රබර් නිෂ්පාදිත, ඛනිජ තෙල් නිෂ්පාදිිත, යන්ත්‍රසූත්‍ර සහ යාන්ත්‍රික උපකරණ (සියලුම උප කාණ්ඩ), රෙදිපිළි සහ ඇඟළුම්, මැණික්, දියමන්ති සහ ස්වර්ණාභරණ හා මූල ලෝහ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදිත සම්බන්ධයෙන් සැලකිය යුතු වර්ධනයක් වාර්තා විය.

    2020 ජූනි මාසයේ දී ඩොලර් මිලියන 66 ක් වූ රබර් නිෂ්පාදිත අපනයන ආදායම 2021 ජූනි මාසයේ දී ඩොලර් මිලියන 92.9 ක් දක්වා 40.7% කින් ඉහළ ‌ගොස් ඇත. මේ අනුව 2020 මුල් භාගයේ රබර් නිෂ්පාදිත අපනයන ආදායම වූ ‌ඩොලර් මිලියන 335.7ට වඩා 48.8%ක වර්ධනයක් වාර්තා කරමින් 2021 මුල් භාගයේ දී ඩොලර් මිලියන 499.7 ක අපනයන ආදායමක් වාර්තා වී තිබේ.

    ඛනිජ තෙල් නිෂ්පාදිතවලින් ලැබෙන ආදායම ඉහළ යෑම සඳහා ඉන්ධන පරිමාවන් තරමක් ඉහළ යෑම සමඟ නැව් සඳහා යොදාගනු ලබන ඉන්ධනවල ඒකක අගය සැලකිය යුතු ලෙස ඉහළ යෑම හේතුවිය. වසංගතය ආශ්‍රිත අවහිරතා අඛණ්ඩව පැවතිය ද, ප්‍රධාන අපනයන කාණ්ඩවල ආදායම මාසික ලක්ෂ්‍යමය පදනම මත ඉහළ ගියේය. 2021 වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලපරිච්ඡේදය තුළ කාර්මික අපනයනවලින් ලද සමස්ත ආදායම. 2020 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 31.3ක වර්ධනයක් සහිතව ඒක්සත් ජනපද ඩොලර් මිලියන 4,408 ක් දක්වා ඉහළ ගියේය.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2021 ජූනි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.