ඩී පී ලොජිස්ටික්ස් සමාගමට ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් ලෙස නව මුහුණුවරක්

    July, 23, 2026

    ආසියානු සහ මැද පෙරදිග ඇතුළු ගෝලීය වෙළෙද පොළට පිවිසීමේ සැළසුම්

    ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ ලොජිස්ටික්ස් ව්‍යාපාර ජාලය තවදුරටත් ශක්තිමත් කරමින්, එහි අනුබද්ධිත සමාගමක් වන ඩී පී ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, නිල වශයෙන් ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ලෙස සිය නාමය වෙනස් කළ බව සමාගම නිවේදනය කර සිටියි.

    මෙම වෙනස් කිරීම මඟින් ඩේවිඩ් පීරිස් සමූහයේ ලොජිස්ටික්ස් සේවා අංශය ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රමුඛ පෙළේ අංගසම්පූර්ණ ලොජිස්ටික්ස් සහ සැපයුම් දාම විසඳුම් සපයන්නෙකු ලෙස තමා සතු ස්ථානය තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇත.

    ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් සමාගම දැනට මෙරට ගබඩා පහසුකම් සහ තෙවන පාර්ශවීය ලොජිස්ටික්ස් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම් දහය අතර රැඳී සිටින අතර, දේශීය ලොජිස්ටික්ස් ක්ෂේත්‍රය තුළ විශාලතම බහාලුම් රථ සමූහයකට හිමිකම් කියන සමාගමකි. දැඩි තරඟකාරීත්වයක් පවතින Freight Forwarding වෙළෙඳ පොළ තුළ වුවද, සිය වෙළෙඳ පොළ කොටස අඛණ්ඩව වර්ධනය කර ගැනීමට සමාගම සමත්ව ඇති අතර, ලොජිස්ටික්ස් ක්ෂේත්‍රයේ සියලුම අංශයන් ආවරණය වන පරිදි පුළුල් අත්දැකීම් සහිත දේශීය සමාගම් කිහිපය අතරින් එකක් ලෙසද සිය නාමය රඳවාගෙන සිටියි.

    සිය ව්‍යාප්ති උපායමාර්ගයට අනුකූලව, ඩේවිඩ් පීරිස් සමූහය විසින් 2022 වසරේ දී, එවකට එක්ස්පෝලංකා හෝල්ඩින්ග්ස් පීඑල්සී හි නැව්ගත කිරීමේ අංශය වූ Pulsar Shipping Agencies (Pvt.) Limited සමාගම අත්පත් කර ගන්නා ලදී. මෙමඟින් නෞකා නියෝජිත සේවා,  හස්බන්ඩ්‍රි සේවා සහ සමුද්‍රීය ලොජිස්ටික්ස් වෙත යොමුවෙමින් සමූහයේ ලොජිස්ටික්ස් සහ Shipping අංශය වඩාත් පුළුල් කිරීමට අවස්ථාව සැලසුණි.

    මෙම උපායමාර්ගික ඒකාබද්ධතාවයන් ඔස්සේ ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් සමාගම මේ වන විට බහාලුම් ප්‍රවාහනය, බෙදාහැරීම් සහ ව්‍යාපෘති ලොජිස්ටික්ස්, Freight Forwarding, රේගු නිෂ්කාශන කටයුතු, තෙවන පාර්ශවීය ලොජිස්ටික්ස්, ගබඩා පහසුකම් සහ සැපයුම් දාම කළමනාකරණය ඇතුළු අංගසම්පූර්ණ සේවා මාලාවක් පාරිභෝගිකයින් වෙත සමීප කරයි.

    තම ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ඩේවිඩ් පීරිස් සමූහය ඩුබායි හි පිහිටි ප්‍රමුඛ පෙළේ ලොජිස්ටික්ස් සමාගමක් වන Navire Logistics Services L.L.C හි 50%ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගෙන ඇත. මීට අමතරව ඕමානයේ මස්කට් සහ සලාලා හි පිහිටි එහි පූර්ණ අනුබද්ධිත සමාගම්වල මෙන්ම, සෞදි අරාබියේ ජෙඩා හි පිහිටුවා ඇති හවුල් ව්‍යාපාරයේ ද කොටස් හිමිකාරීත්වය මීට ඇතුළත් වේ. මෙම උපායමාර්ගික ආයෝජනය ශ්‍රී ලංකාවෙන් ඔබ්බට ගොස් ජාත්‍යන්තර සහ කලාපීය ලොජිස්ටික්ස් වෙළඳපොළ තුළ ප්‍රබල දායකත්වයක් දැක්වීමට සමූහය තැබූ සුවිශේෂී පියවරකි.

    මෙම සියලු නව සංවර්ධනයන් සමඟින්, ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් සමාගම දේශීය දක්ෂතා සහ ගෝලීය සබඳතා මනාව ඒකාබද්ධ කරමින්, කාර්යක්ෂම සහ විශ්වාසනීය සැපයුම් දාම විසඳුම් සඳහා වන ඉල්ලුම සපුරාලන පූර්ණ ඒකාබද්ධ ලොජිස්ටික්ස් බලවතෙකු ලෙස අඛණ්ඩව ඉදිරියටම ගමන් කරයි.

    තවද, මේ වන විට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ අනෙකුත් නව කලාපයන් ඉලක්ක කරගනිමින්, නැව්ගත කිරීමේ සහ ලොජිස්ටික්ස් ක්ෂේත්‍රයේ නව හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමේ මූලික කටයුතු ද සාර්ථකව සැලසුම් වෙමින් පවතී.