June, 1, 2026
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (01) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 325.97ක් හා විකුණුම් මිල රු. 335.70ක් ලෙසින් වාර්තා වී තිබේ.
පසුගිය සිකුරාදා (29) ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 324.45ක් හා රු. 334.24ක් ලෙසින් වාර්තා වී තිබුණි.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ 2026 වසරේ පෙබරවාරි මස අග භාගයේ දී මැද පෙරදිග ගැටුම්කාරී තත්ත්වය වර්ධනය වීමේ බලපෑමෙන් පසුව විදේශීය අංශයේ ඇති වූ පීඩනය ඉහළ යෑම පිළිබිඹු කරමින්, 2026 වසරේ මැයි මස අවසානය වන විට ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව 5.4%කින් අවප්‍රමාණය වී තිබෙන බවයි. මෙම අවප්‍රමාණය වීම, කලාපීය රටවල මුදල් ඒකකයන්හි දක්නට ලැබුණු අවප්‍රමාණය වීම්වලට සමගාමීව සිදුව ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.
මේ අතර 2026 වසරේ මැයි 29 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝ (-4.7%), ස්ටර්ලින් පවුම (-5.3%), චීන යුවාන් (-8.4%), ජපන් යෙන් (-3.7%) හා ඕස්ට්‍රේලියානු ඩොලරය (-11.5%) හමුවේ ද අවප්‍රමාණය වී ඇති බව මහ බැංකු දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දේ.
කෙසේවෙතත් මෙම වකවානුව තුළ දී ඉන්දියානු රුපියල හමුවේ 0.8%කින් ශ්‍රී ලංකා රුපියල අධිප්‍රමාණය වී තිබීම විශේෂත්වයකි.

Video Story