ඩොලර් ට්‍රිලියනයක වත්කමකට හිමිකම් කියූ ලොව පළමු පුද්ගලයා ලෙසින් ඊලෝන් මස්ක් ඉතිහාසගත වෙයි

    June, 13, 2026

    ලොව පුරා දැඩි අවධානයක් යොමු වූ මූලික මහජන කොටස් නිකුතුව (IPO) සිදුකළ, SpaceX සමාගම අද (11) දින Nasdaq කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමෙන් පසු එහි ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු මේ වන විට සිදුවෙමින් පවතී. ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක් බහුතර කොටස් හිමිකාරීත්වය දරනු ලබන SpaceX සමාගමේ කොටසක් ඩොලර් 135 බැගින් මූලික කොටස් නිකුතුවේ දී පිරිනැමුනු අතර ආරම්භයේ දී කොටසක් ඩොලර් 150ක මිලකට ගනුදෙනු වීමත්, කෙටිකාලයක් ඇතුළත එහි මිල ඩොලර් 170ක් ඉක්මවා ගනුදෙනු වන ආකාරය ද දැකගත හැකිවීමත් සුවිශේෂී සිද්ධියක් විය.

    SpaceX හි කොටස් ප්‍රාග්ධනයෙන් 42%ක් හෙවත් කොටස් බිලියන 6.42කට හිමිකම් කියනු ලබන්නේ ඊලෝන් මස්ක් විසිනි. ඒ අනුව SpaceX කොටසක මිල ඩොලර් 155 සීමාව ඉක්මවා යාමත් සමඟින්, ඊලෝන් මස්ක්ගේ වත්කම ද ඩොලර් ට්‍රිලියනයේ සීමාව ඉක්මවා ගොස් ඇත්තේ ඔහු ලොව පළමු ඩොලර් ට්‍රිලියනපතියා බවට අභිෂේක ගන්වමිනි.

    මූලික මහජන කොටස් නිකුතුවේ දී එක් කොටසක් ඩොලර් 135 බැගින් SpaceX සමාගමේ කොටස් 555,555,555 ක් නිකුත් කෙරුණි. ඒ අනුව මෙම මූලික කොටස් නිකුතුව හරහා සමාගම විසින් සම්පාදනය කර ගන්නා ලද මුදල ඩොලර් බිලියන 75ක් වේ. එය සැලකෙන්නේ මෙතෙක් ලෝක ඉතිහාසයේ විශාලතම මූලික කොටස් නිකුතුව ලෙසයි. මීට පෙර 2019 වසරේ දී Saudi Aramco සමාගම විසින් සෞදි කොටස් හුවමාරුව හරහා මූලික කොටස් නිකුතුවක් මගින් ඩොලර් බිලියන 25.6ක අරමුදලක් සම්පාදනය කර ගැනීම මේ අනුව දෙවැනි තැනට පත් වී ඇත.