ඩොලර් මිලියන 2.5ක් හැකරුන් අතට යාමේ සිද්ධියේ වගකීම සම්බන්ධයෙන් මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය පරස්පර මත දෙකක

    June, 9, 2026

    විදේශ ණය වාරිකයක් ගෙවීමේ දී ඊට අදාළ ඩොලර් මිලියන 2.5ක මුදල වෙනත් පර්ශවයක් වෙත යොමුවීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාර ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත ඊයේ (08) දිනයේ දී වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. මේ අතර ඊයේ (08) දෙරණ 360 සජීවී සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ අදාළ වාර්තාව මහ බැංකු අධිපතිවරයාට ලබාදෙන අවස්ථාවේ දී ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණු බවයි.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් සැලකිය යුතු වගකීමක් මහ බැංකුව සතුව ද ඇති බවට අදාළ වාර්තාවේ සඳහන් වීම මීට හේතු වී තිබේ. කෙසේ වෙතත් එය පිළිගැනීමට මහ බැංකුව සූදානම් නැති බව සඳහන් කළ බවත්, අදාළ වාර්තාව අධ්‍යයනය කර ඊට පිළිතුරු ලබා දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට සතියක කාලයක් ලබා දුන් බවත් මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා එහිදී පැවසීය.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාරය හර්ෂ ද සිල්වා මහතා,

    “එතනත් තියෙන්නේ processes ප්‍රශ්නයක්.  මෙතන දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා කියලා තමයි මම ආරම්භයේ දීම කිව්වේ. හොරා කවුද Aද, Bද, Cද කියන එක CID එකෙන් යනාදී තැන්වලින් හොයනවා. අපි ඒකට විශේෂඥයෝ නෙමෙයි. රාජ්‍ය මුදල් පිළිබඳ අධීක්ෂණයේ දී අධීක්ෂණ කමිටුව විදියට අපිට දැනගන්න ඕනේ, processes පැත්තෙන් මොකක්ද වුණේ. එතකොට ඒ සාකච්ඡාව තමයි අද (08) සිද්ධ වුණේ. එතනදී මහ බැංකු අධිපතිවරයාත්, භාණ්ඩාගාර ලේකම්තුමත් දෙන්නාම ඇවිල්ලා හිටියා. හැබැයි මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමාගේ වාර්තාව මහ බැංකුවේ අධිපතිවරයාට ලබාදුන්නේ ඒ අවස්ථාවේ දී. ඒක ආන්දෝලනාත්මකව ගැටළුවක් වුණා. කවුරුත් දන්නවා, ඒ ගැන ආයෙත් කතා කරන්න ඕනේ නැහැ, පුද්ගලිකව මට බාර ගන්න බැහැ. ඒ නිසා කමිටුවට දීලා තිබ්බ වාර්තාව අද අධිපතිතුමාට දුන්නා. එතනදී ගැටළුකාරී තත්ත්වයක් මතුවෙලා තියෙනවා, මේකේ වගකීම ගත යුත්තේ කවුද, වගකීම සම්පූර්ණයෙන්ම භාණ්ඩාගාරයේ ද, එහෙමත් නැත්නම් මහ බැංකුවේ ද, එහෙමත් නැත්නම් මේකේ වගකීම දෙකට බෙදිලා යනවාද. එතකොට වාර්තාවේ තියෙන විදියට මහ බැංකුව මේකේ ලොකු කොටසක් වගකීම ගත යුතුයි. හැබැයි මහ බැංකුව ඒ සම්බන්ධයෙන් ඒක පිළිගන්නේ නැහැ. ඒ නිසා මහ බැංකුව අපිට කිව්වා, අපිටත් සාධාරණ කාලයක් ලබා දෙන්න, අපි මේ වාර්තාව කියවලා, මේ වාර්තාවේ මහ බැංකුවට එරෙහිව ඉදිරිපත් කළ කාරණ සම්බන්ධයෙන් ඔවුන්ට ඒකට පිළිතුරු සපයන්න ඕනේ කියලා. ඒක අතිශයින් සාධාරණයි. ඒ නිසා අපි ඔවුන්ට සතියක කාලයක් ලබා දීලා තියෙනවා.“