ණය කලින් පියවීමේ දී ගෙවීමට සිදුවන අධිභාරය ඉවත් කරනවාද? – මහ බැංකුව ප්‍රතිචාරය මෙන්න

    March, 4, 2021

    මේ වන විට බැංකුවකින් හෝ මූල්‍ය සමාගමක් වෙතින් ලබා ගෙන ඇති ණය මුදලක්, ණය කාලසීමාව අවසන් වීමට පෙර පියවීමේ දී ඒ සඳහා යම් අධිභාරයක් අය කිරීම සිදුවනු ඇත. මෙම අධිභාරය ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී යම් කතාබහක් ඇති වූ අතර මේ වන විට ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අද දෙරණ Biz ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසීමක් කරන ලදී.

    ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි, ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ, බැංකු විසින් අයකරනු ලබන ගාස්තු පිළිබඳව අධ්‍යයනයක් මේ වන විට සිදුකෙරෙමින් පවතින බවත්, එම අධ්‍යයනය අවසානයේ දී අදාළ කරුණ සම්බන්ධයෙන් තීරණයක් ගනු ලබන බවත්ය.

    “බැංකුවල සියලුම ආකාරයේ ගාස්තු, අයකිරීම් සම්බන්ධයෙන් මේ වෙන කොට අධ්‍යයනයක් කර ගෙන යනවා. එහිදී ණය කලින් පියවීමේ දී ගාස්තු අයකිරීම ගැනත් සලකා බලනවා. ඒ අධ්‍යයනය අවසන් වුණායින් පසු තීරණ කිහිපයක් ගන්න තිබෙනවා.“

    “බැංකුව ණයක් දුන්නාම යම්කිසි පොලී අනුපාතයකට එය දෙන්නේ. එය ඇත්තටම බැංකුවේ ආයෝජනයක්. එයින් ලැබෙන පොලියෙන් තමයි, අනෙක් අතට තැන්පත්කරුවන්ට ගෙවන්නේ සහ අනෙක් වියදම් කරන්නේ. එහෙම කරන ආයෝජනයක් කලින් අවසන් කරන අවස්ථාවේ දී එම ආයෝජනය සම්බන්ධයෙන් ඉදිරියට කරන්නේ කුමක්ද යන ආවස්ථික පිරිවැය ගැටළුව තිබෙනවා. මේ අධ්‍යයනය කළායින් පසු සියලුම ගාස්තු සහ අයකිරීම් සලකා බලා තීරණයක් ගන්නවා. මේ වෙනකොටත් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය (SLBA) සමඟ සාකච්ඡා කරලා තිබෙනවා. ඔවුන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් මේ වන විට ලැබිලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිශ්චිතව ගනු ලබන තීරණය, මෙම අධ්‍යයනයෙන් පසුව දැනුම් දෙන්න බලාපොරොත්තු වෙනවා.“