November, 9, 2022
පසුගිය 2022 ජනවාරි මාසයේ දී තමා අධිපතිව සිටිය දී ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයක් ආපසු ගෙවීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විශේෂ ප්‍රකාශයක් කර සිටී.
මෙහිදී කබ්රාල් මහතා පවසන්නේ ණය නොගෙවා සිටීම මුළු රටටම බලපාන බවයි.
“ණය ගෙවීම ද වැරදි? ණය නොගෙවීම ද? ණය ගෙවපු මිනිහාව වැරදිකාරයෙක් කරලා, ණය නොගෙවපු මිනිහාව වීරයෙක් කරනවා නම් ඒකේ මොකක් හරි වැරැද්දක් තියෙන බව තේරුම් ගන්න පුළුවන්නේ. ණය නොගෙව්වාම ඒක ණයට පමණක් නොවෙයි බලපාන්නේ. එය මුළු ජීවිතේටම නැත්නම් මුළු රටටම බලපානවා.“
“මම මහ බැංකු අධිපතිවරයා වුණාට පස්සේ මුලින්ම ප්‍රශ්න තිබ්බේ යුද්දේ කාලේ. ඒත් ඔක්කොම ණය ගෙව්වා. මේ සැරේ මම ආවට පස්සෙත් සල්ලියක් තිබ්බේ නැහැ. ඒ වුණාට ණයකාරයින් සමඟ කතා කරලා, දීර්ඝ කාලීනව ඒවා අරගෙන ඒක කරගත්තා. 2022 පළවෙනි කාර්තුවේ දී බිලියන 3.1 ක් කොහොම හරි කරලා අපි ණය පියෙව්වා. එත් එක්කම ඒ කාලේදීම විවිධ භාණ්ඩ ගේන්න බිලියන 1.8ක් ගෙව්වා.“
හිටපු මහ බැංකු අධිපතිවරයා මෙහිදී අවධාරණය කරන්නේ ණය පැහැර හැරීමක් සිදුකිරීමට අවශ්‍යතාවයක් නොතිබුණු බවයි. එසේම ඩොලර් බිලියන 10.7 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමට තිබුණු බවද ඔහු මෙහිදී අනාවරණය කර සිටී.
“ණය ගෙවීම තමයි කළ යුත්තේ. ණය නොගෙව්වොතින් අද contracts නැති වෙලා තියෙනවා. LC එකක් ඕපන් කර ගන්න බැරි වෙලා තියෙනවා. රැකියාවල් දහස් ගණන් අහිමි වෙලා තියෙනවා. විවිධ අය රටට එන්නේ නැති ස්වභාවයක් ඇති වෙලා තියෙනවා. අපි හැමෝම දන්නවා මේවා. මේවා සිදුවෙන කොට අපි තේරුම් ගන්න ඕනේ, මෙතන මුල. මෙතන මුල ණය නොගෙවීම. ණය කිසිවිටෙක පැහැර හරින්න තිබුණේ නැහැ. ඒ වෙලාවේ අපිට බිලියන 10.7 ක මුදලක් ලංකාවට එන්න තිබුණා ඇමරිකන් ඩොලර්වලින්. ඒක පෙනිපෙනී ණය නොගෙවීම මම දකින්නේ ඉතාමත්ම බරපතල පාවා දීමක් හැටියට. මේ රටේ ඉතිහාසයේ කවදා හරි ඒක ලියැවෙනවා, රටේ බරපතලම පාවා දීම, රටේ බරපතලම විනාශය ඒක කියලා.“
Video Story