May, 26, 2026
ශ්‍රී ලාංකේය තරුණ සූපවේදීන්ගේ සහජ කුසලතා, නිර්මාණශීලිත්වය සහ සූප ශාස්ත්‍රය කෙරෙහි පවතින ඇල්ම දිරිමත් කරමින් සංවිධානය කරන ලද "CAHM – 7 Star කනිෂ්ඨ සූපවේදී තරගාවලිය - පළමු අදියරේ" අවසාන මහා තරගය, පසුගිය මැයි 09 වන දින මාලඹේ SLIIT විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පිහිටි CAHM ආයතනයේදී සාර්ථකව පවත්වන ලදී.
සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගමේ '7 Star' සන්නාමයේ ප්‍රධාන අනුග්‍රහය ඇතිව, Colombo Academy of Hospitality Management (Pvt) Ltd (CAHM) ආයතනය විසින් මෙහෙයවන ලද මෙම ජාතික මට්ටමේ තරගාවලිය, වයස අවුරුදු 13 ත් 16 ත් අතර සිසුන්ට සූප ශාස්ත්‍ර කලාව ගවේෂණය කිරීමටත්, ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමටත් මෙන්ම ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ අනාගත වෘත්තීය අවස්ථා හඳුනා ගැනීමටත් කදිම වේදිකාවක් නිර්මාණය කළේය.
William Angliss ආයතනය සමඟ සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක වන, මාලඹේ SLIIT පරිශ්‍රය තුළ පිහිටි කොළඹ ආගන්තුක සත්කාර කළමනාකරණ ඇකඩමිය, ආගන්තුක සත්කාර, ආහාරපාන, සංචාරක සහ උත්සව කළමනාකරණ අධ්‍යාපනය ලබාදෙන ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අධ්‍යාපන ආයතනයයි. මෙම හවුල්කාරිත්වය හරහා CAHM ආයතනය සූපශාස්ත්‍ර කලා ක්ෂේත්‍රය පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබාදෙන අතර, එමඟින් ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තරව පවතින අවස්ථාවන් සඳහා සිසුන්ව සූදානම් කරමින් විශිෂ්ට ඉගෙනුම් අත්දැකීමක් ලබා දෙයි.
ආරම්භයේ සිටම මෙම තරගාවලිය සඳහා ඉතා ඉහළ මට්ටමක ප්‍රතිචාර ලැබුණි. ලියාපදිංචි කාල සීමාව තුළ සිසුන්, දෙමාපියන් සහ ගුරුවරුන්ගෙන් විමසීම් 5,000කට අධික සංඛ්‍යාවක් ලැබී තිබූ අතර, ඉන් අයදුම්පත් 1,450ක් ඉදිරිපත් විය. දැඩි ඇගයීම් ක්‍රියාවලියකින් පසුව, අයදුම්කරුවන් 204 දෙනෙකු මූලික වටයන් සඳහා තෝරාගනු ලැබූ අතර, ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රායෝගික පුහුණුව සහ මගපෙන්වීම ලබාදීමෙන් අනතුරුව ඉන් දක්ෂතම තරගකරුවන් 10 දෙනෙකු අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලැබූහ.
එලෙස අවසාන මහා තරගය නියෝජනය කළ සිසුන් 10 දෙනා වූයේ: මුස්ලිම් කාන්තා විද්‍යාලයේ බරීරා බාරික්, ශාන්ත ජෝසප් විද්‍යාලයේ නිකෙල් වෙනුක් එලීෂා, මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ අනුෂ්කා විග්නේශ්වරන්, කළුතර බාලිකා විද්‍යාලයේ මුතුභාෂිණී ගුණවර්ධන, ඉල්මා ජාත්‍යන්තර බාලිකා පාසලේ ශම්හා නසිම්, බෞද්ධ කාන්තා විද්‍යාලයේ සියන්සා මෙත්සඳී, මොරටු මහා විද්‍යාලයේ සඳරුවනි නිසංසලා, කොළඹ නාලන්දා විද්‍යාලයේ සෙනුත් ඉසඳ, මාලඹේ පිරිමි ආදර්ශ විද්‍යාලයේ සෙනුරංග ප්‍රනාන්දු සහ රෝයල් ඉන්ටර්නැෂනල් පාසලේ පූර්ණ බණ්ඩාර තෙන්නකෝන් ය.
ප්‍රවීණ සූපවේදීන් වන රොහාන් ප්‍රනාන්දුපුල්ලේ, ඇලන් පාමර්, සුරිත් අධිහෙට්ටි සහ විචල්‍ය ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අපක්ෂපාති විනිශ්චය මණ්ඩලයක් විසින් තරගකරුවන්ගේ සූප ශාස්ත්‍ර කුසලතා, නිර්මාණශීලිත්වය, ඉදිරිපත් කිරීමේ හැකියාව සහ සමස්ත දක්ෂතාවය පදනම් කරගනිමින් ඇගයීම් සිදු කරන ලදී.
ඉතා තියුණු තරගකාරීත්වයකින් අනතුරුව, කොළඹ ඉල්මා ජාත්‍යන්තර බාලිකා විද්‍යාලයේ ශම්හා නසීම් මෙම ප්‍රථම CAHM – 7 Star කනිෂ්ඨ සූපවේදී තරගාවලියේ ජයග්‍රාහිකාව ලෙස කිරුළු පැළඳුවාය. කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ නිකෙල් වෙනුක් එලිෂා අනුශූරතාව දිනාගත් අතර, කොළඹ නාලන්දා විද්‍යාලයේ සෙනුත් ඉසඳ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.
පළමු අදියරේ ජයග්‍රාහිකාව වෙත රුපියල් 100,000 ක මුදල් ත්‍යාගයක් මෙන්ම, CAHM ආයතනය යටතේ William Angliss මඟින් පිරිනැමෙන වාණිජමය සූපවේදය හෝ රසකැවිලි හා බේකරි නිෂ්පාදනය පාඨමාලාව හැදෑරීම සඳහා රුපියල් මිලියන 2.5 ක් වටිනා අධ්‍යනශිෂ්‍යත්වයක් පිරිනමන ලදී. මීට අමතරව, දෙවන ස්ථානය දිනාගත් ජයග්‍රාහකයාට රුපියල් 75,000 ක මුදල් ත්‍යාගයක් සහ තෙවන ස්ථානය දිනාගත් ජයග්‍රාහකයාට රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක් හිමි වූ අතර, තවත් සැනසිලි ත්‍යාග රැසක් ද පිරිනමන ලදී.
ජයග්‍රාහකයින් ඇගයීමට ලක් කෙරුණු සම්මාන ප්‍රදානෝත්සවය එදින සන්ධ්‍යාවේ ITC Ratnadipa හෝටල් පරිශ්‍රයේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා ද, ගෞරවනීය අමුත්තා ලෙස William Angliss ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ග්‍රාන්ට් ඩ්‍රෙයර් මහතා ද සහභාගී වූහ. මීට අමතරව CAHM ආයතනයේ සභාපති එරල් වීරසිංහ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගමේ විජේ ෂර්මා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය, විනිශ්චය මණ්ඩලය, SLIIT ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, හෝටල් සාමාන්‍යාධිකාරීවරුන්, විදුහල්පතිවරුන්, බැංකු සහ අනෙකුත් අනුග්‍රාහක භවතුන් මෙන්ම දෙමාපියන් ඇතුළු සම්භාවනීය පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී අදහස් දක්වමින් CAHM ආයතනයේ සභාපති එරල් වීරසිංහ මහතා මෙසේ පැවසීය: "CAHM – 7 Star කනිෂ්ඨ සූපවේදී තරගාවලිය අප ආරම්භ කළේ ශ්‍රී ලංකාවේ අනාගත සූපවේදී වෘත්තිකයන් දිරිමත් කිරීමේ අරමුණින්. දරුවන් ප්‍රදර්ශනය කළ නිර්මාණශීලිත්වය, විශ්වාසය සහ උද්‍යෝගය සැබවින්ම අගය කළ යුතුයි. ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් සහ ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර සහ සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ අනාගතය හැඩගැස්වීමට අවශ්‍ය තරුණ දක්ෂතාවලට අතහිත දීමට CAHM ආයතනය නිරන්තරයෙන් කැපවී සිටිනවා."
මේ පිළිබඳව අදහස් දක්වමින් සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විජේ ශර්මා මහතා මෙසේ පැවසීය: "CAHM – 7 Star කනිෂ්ඨ සූපවේදී තරගාවලිය සාර්ථකව අවසන් වීම 7 Star සහ සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගමට මහත් ආඩම්බරයක් ගෙන දෙන කරුණක්. මෙරට තරුණ සූපවේදීන් සතු කැපවීම, විනය සහ නිර්මාණශීලිත්වය මෙම තරගාවලිය පුරා මැනවින් ප්‍රදර්ශනය වුණා. CAHM සමඟ පවතින මෙම හවුල්කාරිත්වය හරහා තරුණ පරපුරට සූප ශාස්ත්‍ර හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නව මංපෙත් විවර කර දීමටත්, එමගින් ක්ෂේත්‍රයේ අනාගතයට දායකත්වයක් ලබා දීමටත් හැකි වීම පිළිබඳව අප සතුටු වනවා."
CAHM – 7 Star කනිෂ්ඨ සූපවේදී පළමු අදියරේ තරගාවලිය, මාස කිහිපයක පුහුණුව, ක්ෂේත්‍ර අත්දැකීම් සහ කැපවීමක සාර්ථක ප්‍රතිඵලයක් ලෙස නිමාවට පත් විය. ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින සූපශාස්ත්‍ර හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම උදෙසා නවක කුසලතා පෝෂණය කිරීමේ වැදගත්කම මෙමඟින් මනාව තහවුරු කෙරිණි. උසස් තත්ත්වයේ නිෂ්පාදන හරහා ‘දේශය පෝෂණය කිරීමේ’ සිය මූලික අරමුණ පෙරදැරිව, අනාගත සූපවේදීන් සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ දක්ෂතා දිරිමත් කිරීම සඳහා සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගමෙහි කැපවීම මෙම වැඩපිළිවෙළ හරහා තවදුරටත් තහවුරු විය.
Video Story