ත්‍රීකුණාමල මුහුද ආශ්‍රිතව මත්ස්‍ය වගා ව්‍යාපෘතියකට BOI අනුමැතිය

    October, 31, 2022

    ත්‍රීකුණාමලය මුහුද ආශ්‍රිතව මසුන් ඇතිකර විදේශ රටවලට අපනයන කිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් පසුගිය (28) දින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබුණි. ග්ලෝබල් සිලෝන් සී ෆූඩ් (GLOBAL CEYLON SEAFOOD(PRIVATE)LIMITED) සමාගම මේ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 7.5ක මුදලක් ආයෝජනය කරයි. මෙම ව්‍යාපෘතිය තුලින් සෘජු රැකියා 100ක් පමණ ජනිත වනු ඇතැයි මෙම අවස්ථාවට එක් වෙමින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

    මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හදුන්වා දුන් ආයෝජක පහසුකම් මධ්‍යස්ථානයේ (Investor Facilitation Center) මුල්ම ආයෝජන ගිවිසුම් ගත වීම මෙම ව්‍යාපෘතිය බවත්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයදුම් පත්‍රය ලැබී ඉතා කෙටි කලක් තුල අදාල අනෙකුත් අනුමැතීන් ලබා ගැනීමට යටත්ව, ආයෝජන මණ්ඩල අනුමැතිය ලබා දීමට හැකි වූ බවද පැවසීය.

    ග්ලෝබල් සිලෝන් සී ෆූඩ් සමාගම ශ්‍රී ලංකාව පදනම් කරගත් ප්‍රමුඛතම මුහුදු ආහාර සැකසුම් සමාගමකි. මෙම සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ 1999 වසරේ සිට මැද පෙරදිග හා යුරෝපය ඉලක්ක කර ගනිමින් මත්ස්‍ය අපනයනය සිදු කරනු ලබයි. නව ව්‍යාපෘතිය යටතේ  වසරකට තවත් මත්ස්‍ය අස්වැන්න මෙට්‍රික් ටොන් 1,900ක් පමණ අපනයන කිරීමට අපේක්ෂා කරන බවද පවසයි .

    අදාල  ගිවිසුම් ගත වීම  ග්ලෝබල් සිලෝන් සී ෆූඩ් සමාගම වෙනුවෙන් අධ්‍යක්ෂක  පර් මාරිඅස් අර්න්ට්සෙන් (Per Marius Arntsen) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් සභාපති රාජා එදිරිසූරිය යන මහත්වරු අතර සිදු විය.  මෙම අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මයද ඡායාරූපයේ සිටී.

    Video Story

    Stock Market

    Exchange Rates