ගාල්ල, කුරුණෑගල, අනුරාධපුරය, නුවර සහ මඩකළපුව යන දිස්ත්‍රික්කවල තාක්ෂණ උද්‍යාන 05ක් ස්ථාපිත කිරීම සඳහා 2021 අයවැය මඟින් යෝජනා කර ඇත.
ඒ අනුව, අධිවේගී මාර්ග ජාලයට ප්‍රවේශ වීමේ පහසුකම, සංචාරක ආකර්ෂණය, අවශ්‍ය මානව සම්පත් පැවතීම හා අනෙකුත් අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන අදාළ තාක්ෂණ උද්‍යාන ස්ථාපිත කිරීම සඳහා යෝග්‍ය ස්ථානයන් තාක්ෂණ අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇත.
යෝජිත ව්‍යාපෘති වාණිජමය ව්‍යවසායයන් වශයෙන් ක්‍රියාත්මක කිරීමට හැකි වනු පිණිස භාණ්ඩාගාර ලේකම්ට මුළු කොටස් අයිතිය හිමි වන පරිදි තාක්ෂණ උද්‍යාන සංවර්ධන සමාගම යනුවෙන් සමාගමක් ස්ථාපිත කිරීමටත්, ඉදිරියේදී එම සමාගම කොළඹ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි කර පෞද්ගලික ආයෝජකයින්ට ද අදාළ ව්‍යාපෘතියට සහභාගිවීම සඳහා අවස්ථාව සලසා දීමටත් සැලසුම් කර ඇත.
ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරි පියවර ගැනීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.