ශ්රී ලංකාව ගෝලීය තැඹිලි අපනයන කේන්ද්රයක් බවට පත් කිරීමේ නව පියවරක්
ශ්රී ලංකාවේ තැඹිලි වගාව නව මඟකට ගෙන යමින්, නිෂ්පාදනය හා ඵලදායිතාව ඉහළ නැංවීමත්, තැඹිලි සහ ඒ ආශ්රිත නිෂ්පාදන සඳහා ජාත්යන්තර වෙළෙඳපොළ පුළුල් කිරීමත් අරමුණු කරගනිමින් වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශය ක්රියාත්මක කරන “Ceylon King Coconut Village” ජාතික වැඩසටහන ඊයේ (02) කුරුණෑගල දිස්ත්රික්කයේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ මහායාය වතු පරිශ්රයේදී ආරම්භ කෙරිණි.
වසර තුනක කාලයක් තුළ දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීම මෙම ජාතික වැඩසටහනේ ප්රධාන අරමුණක් වන අතර, ඒ යටතේ 2026 වසරේ තැඹිලි ගම්මාන 75ක්, 2027 වසරේ ගම්මාන 80ක් සහ 2028 වසරේ ගම්මාන 95ක් වශයෙන් ගම්මාන ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
මෙම වැඩසටහන යටතේ නව තැඹිලි පැළ 212,500ක් රෝපණය කිරීම, දැනට පවතින තැඹිලි ගස් 221,500ක් පමණ පුනරුත්ථාපනය කිරීම සහ එක් ගම්මානයකට එක් ක්ෂුද්ර සැකසුම් පහසුකමක් බැගින් සංවර්ධනය කිරීමද සිදු කිරීමට නියමිතය. ඒ හරහා තැඹිලි වගාකරුවන් 21,250ක් පමණ සවිබල ගැන්වීමත්, වගාකරුවන්, එකතුකරන්නන් සහ අපනයනකරුවන් සම්බන්ධ කරගත් විධිමත් දත්ත හා වෙළෙඳ පද්ධතියක් ගොඩනැගීමත් අපේක්ෂා කෙරේ.
2030 වසර වන විට ශ්රී ලංකාවේ වාර්ෂික තැඹිලි අස්වැන්න ගෙඩි මිලියන 25කින් ඉහළ නැංවීමත්, තැඹිලි හා ඒ ආශ්රිත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 12කට වඩා වැඩි අගයකින් ඉහළ නැංවීමත් මෙම වැඩසටහනේ ප්රධාන ඉලක්ක වේ.
තැඹිලි වගාව පමණක් නොව, තැඹිලි එකතු කිරීම, ප්රවාහනය, සැකසීම සහ අපනයනය යන අංශ ආශ්රිතව නව ආදායම් හා රැකියා අවස්ථා නිර්මාණය කරමින් ග්රාමීය පවුල්වල ආදායම් ශක්තිමත් කිරීමද වැඩසටහනේ අරමුණකි. ඒ තුළින් ග්රාමීය ජනතාව ජාතික ආර්ථික වර්ධනයේ සෘජු හවුල්කරුවන් බවට පත් කිරීම අපේක්ෂා කෙරේ.
2026 වසර සඳහා දිවයින පුරා තැඹිලි ගම්මාන 75ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, එක් ගම්මානයක තැඹිලි ගස් 500–1,000ක් පමණ වගා කිරීමට අපේක්ෂා කෙරේ. මෙම වසරේ වැඩසටහන සඳහා රුපියල් කෝටි 40.5ක පමණ මුළු ප්රතිපාදන වෙන් කර ඇති අතර, දැනට පවතින තැඹිලි ගස් 20,300ක් සඳහා පොහොර සහ වසුන් යෙදීම වෙනුවෙන් එක් ගසකට රුපියල් 700ක මූල්ය ආධාර ලබාදීමටද, නව තැඹිලි පැළ 37,500ක් වගාකරුවන් වෙත රුපියල් 150ක සහනදායී මිලකට ලබාදීමටද සැලසුම් කර තිබේ.
“Ceylon King Coconut Village” ජාතික වැඩසටහනේ ආරම්භක අවස්ථාවට සමගාමීව අද පැවති වැඩසටහනේදී තැඹිලි වගාකරුවන් වෙත සහනාධාර චෙක්පත්, තැඹිලි සහ පොල් පැළ, සුදු මැස්සා පාලන කඩදාසි/උපකරණ සහ කෘෂි යන්ත්ර උපකරණ ලබාදීම ද සිදු කරන ලදි. එමෙන්ම තැඹිලි වගාකරුවන් සහ තැඹිලි අපනයනකරුවන් සඳහා සහතික පත්ර පිරිනැමීමද සිදු කිරීමට නියමිත අතර, කුරුණෑගල, ගම්පහ යන දිස්ත්රික්කයන් නියෝජනය කරමින් වගාකරුවන් 600කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.
මෙම වැඩසටහන ක්රියාත්මක කිරීම සඳහා වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශය, පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය ඇතුළු පොල් ක්ෂේත්රයට සම්බන්ධ ආයතන සහ පාර්ශ්ව රැසක සහයෝගය ලබාගෙන තිබේ. එමෙන්ම ප්රාදේශීය වශයෙන් තැඹිලි ගම්මාන ස්ථාපිත කිරීම සඳහා අදාළ ආයතන හා ප්රාදේශීය පාර්ශ්වයන්ගේ සහභාගිත්වයද ලබාගැනීමට නියමිතය.