July, 7, 2026
ශ්‍රී ලංකාවේ වාර්තාගත හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ, ඔහුගේ නිල අනුග්‍රාහකයා ලෙස උස්වත්ත බිස්කට් පෞද්ගලික සමාගම විසින් 2026 ජූනි 22 වන දින කැනන්තුඩාව වින්රෝ රිසෙප්ෂන් හෝල්හිදී පැවති විශේෂ උපහාර උත්සවයකදී ගෞරවයට පාත්‍ර කරන ලදී. රුමේෂ්ගේ උපන් ගම් ප්‍රදේශයේ පැවති මෙම උත්සවයට ඔහුගේ පවුලේ සාමාජිකයින්, ඥාතීන්, මිතුරන්, අසල්වැසියන් සහ ඔහුගේ ගමන පුරාවටම ඔහුට සහයෝගය හා දිරිගැන්වීම් ලබා දුන් ප්‍රදේශ වාසීන් රැසක් එක්වූ අතර, කුඩා කල සිට ඔහු සමඟ සිටි පිරිස අතර හැඟීම්බර සැමරුමක් බවට එය පත්විය. මෙම උත්සවය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළට ඔසවා තැබූ ඓතිහාසික දක්ෂතා රැසක් සමරමින් පැවැත්වුණු අතර, ක්‍රීඩා නිලධාරීන්, ප්‍රජා නායකයින්, ආධාර කරුවන් සහ සුභපතන්නන් එක්ව රුමේෂ්ගේ ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ට නැගී සිටීම ඇගයීමට ලක් කළහ.
පතිරගේගේ මෙම සුවිශේෂී තරග වාරය ඔහුට පෙර නොවූ විරූ ජයග්‍රහණ රැසක් අත්කර දී ඇත. 2026 රෝම ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී ඔහු මීටර් 92.62 ක දුරක් හෙල්ලය විසි කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටු වූ අතර, එය එම වසරේ ලොව හොඳම හෙල්ල විසිකිරීමේ දක්ෂතාවය ද විය. මෙම ජයග්‍රහණය හේතුවෙන් ඔහු එවකට ඉතිහාසයේ හොඳම හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයින් අතර අටවැනි ස්ථානයට ද පත්විය. ඔහුගේ විශිෂ්ට දක්ෂතා මාලාව තවදුරටත් ඉදිරියට ගෙන යමින්, චෙක් ජනරජයේ පැවති ප්‍රසිද්ධ ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 86.57 ක දුරක් වාර්තා කරමින් ප්‍රබල ජාත්‍යන්තර තරගකරුවන් අභිබවා ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔහු සමත් විය. එමෙන්ම පසුගිය දා කටාර්හි දෝහා නුවර පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී ද ජයග්‍රාහී දක්ෂතාවයක් දක්වමින් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානය දක්වා ඉහළ යාමට ඔහුට හැකි විය. මෙම ජයග්‍රහණ ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් ගෙන දීමට පමණක් නොව, ලෝකයේ හොඳම ක්‍රීඩකයන් සමඟ තරග කළ හැකි දක්ෂ ක්‍රීඩකයින් බිහි කිරීමේ ශ්‍රී ලංකාවේ හැකියාව මනාව පෙන්නුම් කර ඇත.
මෙම උපහාර උත්සවය ශ්‍රී ලාංකික විශිෂ්ටත්වය හඳුනා ගෙන එයට සහයෝගය දැක්වීම සඳහා උස්වත්ත බිස්කට් සමාගම දක්වන කැපවීම ද පිළිබිඹු කළේය. එහිදී අදහස් දැක්වු උස්වත්ත බිස්කට් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ තරුණ ව්‍යවසායක ශංකර් පෙරේරා මහතා, රුමේෂ්ගේ සුවිශේෂී ජයග්‍රහණ වෙනුවෙන් ඔහුට සුබ පැතුම් එක් කළ අතර, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් ගෞරවය සහ කීර්තිය රැගෙන එන පුද්ගලයින්ට අඛණ්ඩව සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් සමාගමේ කැපවීම යළිත් තහවුරු කළේය. වසර 70 කට වැඩි ඉතිහාසයක් හිමි උස්වත්ත බිස්කට්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බිස්කට් නිෂ්පාදකයන්ගෙන් එකක් වන අතර, දිගුකාලීනව ජනතාවගේ විශ්වාසය දිනාගත් වෙළඳ නාමයකි. ගුණාත්මක භාවය, නව්‍යකරණය සහ දැරිය හැකි මිල ගණන් යන මූලධර්ම මත ක්‍රියා කරන සමාගම, දේශීය සහ ජාත්‍යන්තර වෙළඳපොළ තුළ තම ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරමින්, ප්‍රජාවන් දිරිගන්වන සහ සවිබල ගන්වන වැඩසටහන් සඳහා ද අර්ථවත් දායකත්වයක් ලබා දෙයි.
රුමේෂ් තරංග පතිරගේ සමඟ ඇති මෙම හවුල්කාරිත්වය, ලෝක මට්ටමේ විශිෂ්ටත්වයක් අත්කර ගැනීමේ හැකියාව ඇති ශ්‍රී ලාංකික දක්ෂතා හඳුනාගෙන ඔවුන්ට සහයෝගය දැක්වීම පිළිබඳ උස්වත්ත බිස්කට් සමාගමේ අඛණ්ඩ විශ්වාසය පිළිබිඹු කරයි. ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ඔහු ලබාගත් ඓතිහාසික ජයග්‍රහණ අගයමින්, උස්වත්ත බිස්කට් සමාගම විසින් රුමේෂ් තරංග පතිරගේ වෙත රුපියල් මිලියන 2.5 ක මුදල් ත්‍යාගයක් පිරිනමන ලදී. එමෙන්ම ඔහුගේ පුහුණු කරු ටෝනි ප්‍රසන්න මහතා ද රුපියල් 500,000 ක මුදල් ත්‍යාගයකින් ඇගයීමට ලක් කරන ලදී. මෙම අවස්ථාව දිගුකාලීන හවුල්කාරිත්වයක ආරම්භය ද සනිටුහන් කළ අතර, 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල දක්වා වූ රුමේෂ් තරංග පතිරගේගේ ගමනට නිල අනුග්‍රාහක ලෙස අඛණ්ඩව සහයෝගය ලබාදීමට උස්වත්ත බිස්කට් සමාගම ප්‍රතිඥා දුන්නේය. ශ්‍රී ලංකාවේ වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමේ ඔහුගේ අවසාන අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා රුමේෂ් සමඟ අත්වැල් බැඳගෙන සිටින බව උස්වත්ත බිස්කට් සමාගම යළිත් අවධාරණය කළේය.
මෙම උත්සවය ඓතිහාසික ක්‍රීඩා ජයග්‍රහණයක් සමරන අවස්ථාවක් වූවා පමණක් නොව, දක්ෂතාවය, කැපවීම සහ අධිෂ්ඨානය තුළින් ලබාගත හැකි ජයග්‍රහණ පිළිබඳ ප්‍රබල පණිවිඩයක් ද රැගෙන ආවේය. එහි සහභාගි වූ බොහෝ දෙනා සඳහා මෙය තම වෘත්තීය ජීවිතයේ හිණිපෙත්තේ සිටින ක්‍රීඩකයෙකුට කරන උපහාරයක් පමණක් නොව, සමස්ත ජාතියටම ආශ්වාදයක් සපයන ශ්‍රී ලාංකිකයෙකුගේ සාර්ථකත්වය සැමරීමක්ද විය.
Video Story