දිසිඳි පොල් ආනයනයේ දී විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක්. BCC ට රුපියලයි. අනෙක් අයට රු. 300 යි

    April, 30, 2021

    මෙරටට දිසිඳි පොල් ආනයනය කිරීමේ දී විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් හඳුන්වා දීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ් අනුව මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව, 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි සහ 5 වැනි වගන්ති යටතේ නියමයන් දක්වමින් රජයේ නිවේදනයක් 2021 අප්‍රේල් 27 දින ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ් අනුව දිසිඳි පොල් ආනයනයේ දී කිලෝ ග්‍රෑම් 1ක් සඳහා රු. 300.00 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා ඇත.

    කෙසේ වෙතත් කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශය මත දිසිඳි පොල් - අනෙකුත් (රේගු සංකේතාංක 0801.11.90) මාසයකට උපරිම වශයෙන් මෙට්‍රික් ටොන් 13,000 ක් බැගින් වූ ප්‍රමාණයක් රජයට අයත් BCC ලංකා ලිමිටඩ් ආයතනය වෙත පමණක් ආනයනය කිරීමට සහ ඒ් සඳහා අදාළ වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝ ග්‍රෑමයකට රු. 1 ක් ලෙසින් නියම කර තිබේ.

    මෙම නියමයන් 2021 අප්‍රේල් 28 දින සිට මාස 03ක කාලයක් දක්වා වලංගු වනු ඇත.

    උසස් මට්ටමේ ප්‍රමිතීන් පවත්වා ගනිමින් පොල් ගෙඩියේ කුරුට්ට ප්‍රවේශමෙන් ඉවත් කිරීමෙන් පසු කැබලි කර, යන්ත්‍රානුසාරයෙන් මනාව වියළා ඇසිරීමෙන් පිරිසුදු ආහාර ද්‍රව්‍යක් ලෙසට නිපදවන දිසිඳි පොල්, පැහැයෙන් පොල් මදයේ සුදට සමානය. චොක්ලට්, කේක්, බිස්කට්, රසකැවිලි හා ක්ෂණික ආහාර නිෂ්පාදනය සඳහා දිසිඳි පොල් යොදා ගන්නා අතර දිසිඳි පොල් මෙ.ටො. 01ක් නිෂ්පාදනය කිරීම සඳහා සාමාන්‍යයෙන් පොල් ගෙඩි 7,797 ක් පමණ අවශ්‍ය වේ.