• Ada Derana BIZ Sinhala
  • Department of Census and Statistics
  • sri lanka

දුප්පත් නොවී මාසයක් කොළඹ ජීවත් වෙන්න රු. 14,854 ක් අවශ්‍යයි – නිල වාර්තාවක් කියයි

November, 14, 2022

2022 සැප්තැම්බර් මාසයට අදාළ මාසික දරිද්‍රතා රේඛා සටහන ප්‍රකාශයට පත් කිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබේ.

ඊට අනුව මෙරට එක් පුද්ගලයෙකු සිය අවම මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මාසයක් වෙනුවෙන් දැරිය යුතු වියදම දැක්වෙන්නේ රු. 13,772 ක් ලෙසයි. ජාතික අගයයක් ලෙසින් දැක්වෙන මෙම වටිනාකම පසුගිය 2022 අගෝස්තු මාසයේ දී දැක්වුණේ රු. 13,460 ක් වශයෙනි.

2022 සැප්තැම්බර් මාසයේ ඉහත අගයයට අනුව සිව්දෙනෙකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම රු. 55,088 ක් වනු ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මෙම වාර්තාවට අනුව සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන අයෙකුටයි. එය රු. 14,854 කි. අගෝස්තු මාසයේ දී මෙම අගය රු. 14,517 ක් ලෙසින් සටහන්ව ඇත.

මෙහි අවම අගය වාර්තා වන්නේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම අගය රු. 13,168 ක් වේ. අගෝස්තු මාසයේ දී මෙම අගය රු. 12,870 ක් ලෙසින් වාර්තා වී තිබුණි.

පෙර මාසයට සාපේක්ෂව 2022 සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ ඉහළ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය මෙම නිල දරිද්‍රතා රේඛාවේ වැඩිවීමට හේතුවී ඇති බව බව ජනලේඛන හා සංඛාලේඛන දොපර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දේ.

Photo Credit: World Bank

Video Story

Stock Market

Exchange Rates