දේශගුණික බලපෑම්වලට ඔරොත්තුදීම ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව ලෝක බැංකුව සමග ගිවිසුමකට එළඹෙයි

    September, 22, 2021

    මෙම ව්‍යාපෘතිය මගින් කාලගුණ අනාවැකි පැවසීම, පූර්ව අනතුරු ඇඟවීම සහ කැළණි ගංඟා නිම්නය ජලගැලීම්වලට ඔරොත්තුදීමේ හැකියාව වර්ධනය කිරීමට සහාය ලබා දේ.

    දේශගුණික බලපෑම්වලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමේ බහු අවධි වැඩසටහනේ 1 අදියර ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 92 මූල්‍ය ගිවිසුමකට අත්සන් තබනු ලැබිණි. මෙම ව්‍යාපෘතිය මගින් කාලගුණය, ජලගැලීම් සහ නායයාම් පිළිබඳව අනාවැකි පළකිරීම හා පූර්ව අනතුරු ඇඟවීම් පද්ධති නවීකරණය කිරීම මගින් දිවයින පුරා සිටින මිලියන 11.2 කට වඩා වැඩි ජනගහනයකට ප්‍රතිලාභ අත්කර දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් සජිත් ආටිගල මහතාද, ලෝක බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාව සඳහා වූ ලෝක බැංකු අධ්‍යක්ෂක ෆාරිස් හඩාඩ් සර්වෝස් මහතාද මෙම ගිවිසුමට අත්සන් තබන ලදී.

    දරුණු දේශගුනික බලපෑම්වලින් අතිශයින් බලපෑමට ලක්වූ රටවල් අතරින් එකක් වන ශ්‍රි ලංකාව 2050 වන විට දේශගුණික වෙනස්කම් නිසා එහි දළ දේශිය නිෂ්පාදිතයෙන් 1.2% ක් අහිමි වනු ඇතැයි පූරෝකථනය  කෙරේ. එමෙන්ම 2050 වසර වන විට ශ්‍රි ලාංකිකයින් මිලියන 19 ක් සාමාන්‍ය හෝ දරුණු නියඟ හෝ ජලගැලීම් වලට විශාල වශයෙන් ලක්විය හැකි ස්ථානයන්හි වාසය කරනු ඇතැයි ඇස්තමේන්තු ගතකර තිබේ.

    “මෙම ව්‍යාපෘතියේ මුලික පරමාර්ථය මිනිසුන්ගේ ජීවිත, දේපළ සහ පොදුදේපළ ආරක්ෂා කිරීමයි” යනුවෙන් මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වූ ලෝක බැංකු අධ්‍යක්ෂක ෆාරිස් හඩාඩ් සර්වොස් මහතා පැවසීය. “දැනට පවත්නා පූර්ව අනතුරු ඇඟවීම් පද්ධති නවීනතම තාක්ෂණය භාවිතා කරමින් නවීකරණය කිරීමට සහ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව සැකසීම සඳහා ආයෝජනය කිරීම තුළින් ආපදාවන්ට ඔරොත්තුදීමේ ශක්තියෙන් යුත්  ශ්‍රි ලංකාවක් ගොඩනැංවීම පිළිබඳ රජයේ දැක්ම යථාවක් බවට පත් කරගැනීම හැකිවේ”  එහිදී  මහජනතාවගේ  සහයෝගය සහ ප්‍රධාන පාර්ශවකරුවන් අතර පවත්නා සම්බන්ධීකරණය මෙම ව්‍යාපෘතිය සාර්ථකවීමට ඉවහල්වනු ඇතැයි ද මෙහිදී  සඳහන් කළේය.

    රජය සහ ලෝක බැංකුව  සහයෝගයෙන් යුතුව සාර්ථකව ක්‍රියාත්මක කරන ලද 2010 වසරේදී ආරම්භ කරන ලද වේලි ආරක්ෂාව සහ ජල සම්පත් සැලසුම් ව්‍යාපෘතිය, 2012 මහකොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය සහ  2014 වසරේ දී ක්‍රියාවට නංවන ලද දේශගුණ බලපෑම්වලට ඔරොත්තුදීම වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යන ව්‍යාපෘතින් තුළින් ලද අත්දැකීම් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙනු ඇත.

    කැළණි නිම්නයේ ජලගැලීම් නිසා ඒ අවට ජනතාව නිතර ආපදාවට පත්වෙන අතර එයට තිරසාර විසඳුමක් අවශ්‍යවේ. කොළඹ ජීවත්වන ජනතාවට සහ කර්මාන්ත ආශ්‍රිත ජලය සැපයීමේ ප්‍රධාන මූලාශ්‍රය වන්නේ කැළණි ගංගාවයි.  එමගින් ගංගා නිම්නයේ ජීවත්වන ජනතාවට වගා කටයුතු සහ ප්‍රවාහන සේවා වැනි ජීවනෝපාය මාර්ගද සපයනු ලබයි.

    මෙම ව්‍යාපෘතිය මගින් කාලගුණය ආශ්‍රිත හදිසි තත්වයන්, ආපදා පූර්ව අනතුරු ඇඟවීම් පද්ධති වැඩිදියුණු කිරීමට සහ ජලගැලීම් වලට ඔරොත්තු දිය හැකි යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීමට රජයේ දෙපාර්තමේන්තුවලට සහාය ලබාදේ. එසේම මෙමගින් දිගුකාලීන වශයෙන් කැළණි ගංඟා නිම්නයේ ජලගැලීම් අවදානම් අවම කිරීමට අවශ්‍ය පදනම සකසනු ඇත.

    අඹතලේ පිහිටුවා තිඛෙන ගංගා ජලයට ලවණ මුසුවීම වැළැක්වීම සඳහා ඉදිකර තිබෙන බාධකය වැඩි දියුණුකිරිම මගින් ආරක්ෂාකාරී හා විශ්වාසදායී පානීය ජල සැපයුමක් කොළඹට ලබාදීමට සහ ව්‍යාපෘතියේ මීලඟ අදියරයන්හි දී ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත ජලගැලීම්වලට ඔරෙත්තුදීමේ බහු පරමාර්ථ යටිතල පහසුකම් පිළිබඳ විස්තරාත්මක ආයෝජන පිළිබඳ අධ්‍යයන සහ යෝජනා සැපයීම මගින් දීර්ඝ කාලීන වශයෙන් කැළණි නිම්නය දේශගුණ බලපෑම්වලට ඔරොත්තුදීමේ හැකියාව වැඩි කිරීමටද මෙම ව්‍යාපෘතිය සහාය වනු ඇත.

    මෙම ව්‍යපෘතියේ දී  අදාළ රජයේ දෙපාර්තමේන්තු, ව්‍යාපෘතියෙන් බලපෑමට ලක්වූ ජනතාව හා සිවිල් සමාජ කණ්ඩායම්  ආදී පාර්ශවකරුවන් සමග පවත්වන ලද සමීප උපදේශන සාකච්ඡාවන්, වසර ගණනාවක අත්දැකීම් සහ තාක්ෂණික අධ්‍යයන උපයෝගී කරගනු ඇත. කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දරුණු කාළගුණ තත්වයන්, ජලගැලීම් සහ නායයාම් වලින් ජනතාව සහ දේපළ ආරක්ෂා කරගැනීම සඳහා ජනතාවට විශ්වාසදායී පූර්ව අනතුරු ඇඟවීම් ලබාදීම සඳහා සමීපව සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කරනු ඇත. වාර්මාර්ග අමාත්‍යංශය , ජාතික ආරක්ෂාව සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංහය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ඇත.