ධම්මික පෙරේරා රෙදි නිපදවන දැවැන්ත සමාගමක් මිල දී ගනී

    April, 23, 2021

    අපනයන අභිමුඛ වෙළෙඳපොළ වෙනුවෙන් රෙදි (knit fabrics) නිෂ්පාදනයේ නිරත ශ්‍රී ලංකාවේ දැවැන්ත සමාගමක් වන South Asia Textiles හි බහුතර කොටස් අයිතිය අත්පත් කර ගැනීමට හේලීස් ෆැබ්රික් පීඒල්සී සමාගම විසින් ඊයේ (22) දින කටයුතු කර තිබේ. හේලීස් ෆැබ්රික් පීඒල්සී සිය අපනයන මූලික කරගත් ඇඟලුම් කර්මාන්ත අංශය තවදුරටත් පුළුල් කිරීමේ උපක්‍රමික පියවරක් ලෙසින් මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීම සිදුකළ බව ඒහි සභාපති ‌මොහාන් පණ්ඩිතගේ මහතා දැනුම් දී සිටී.

    මීට පෙර  South Asia Textiles හි බහුතර කොටස් අයිතිය Ambeon Holdings PLC සතුව පැවතුණි. ඒහි සභාපති සංජීව් ගාඩ්නර් මහතා පවසන්නේ South Asia Textiles  සමාගමේ බහුතර කොටස් හිමියා වූ Ambeon Holdings PLC, සිය හිමිකාරීත්වය ඊයේ (22) දින‌යේ දී විකුණා දැමූ බවයි.

    South Asia Textiles යනු පසුගිය වසර 15 ක් පුරාවට Calvin Klein, Nike, H&M, Pink වැනි ලොව නම් දැරූ  සන්නාමයන්ගෙන් ඒළිදකින ඇඟලුම් සඳහා රෙදි (knit fabrics) සපයන ලද සමාගමයි.

    හේලීස් ෆැබ්රික් පීඒල්සී මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේලීස් පීඒල්සී හි අනුබද්ධ ලැයිස්තුගත සමාගමකි. හේලීස් පීඒල්සී හි පාලක කොටස් හිමිකාරීත්වය මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සතුව පවතී.