නීල්සන් සමාගම නොමැති අඩුව පිරවීමට දේශීය සමාගම් සූදානම්

    April, 6, 2021

    COVID-19 රෝග ව්‍යාප්තිය සමග ඇතිවූ තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ තමන් එතෙක් සිදුකළ ව්‍යාපාර කටයුතු නැවැත්වීමට, ජාත්‍යන්තර සමීක්ෂණ සමාගමක් වන නීල්සන් සමාගම (Nielsen Corporation/ AC Nielsen) තීරණය කළේ ය. ඒත් සමග දේශීය සමීක්ෂණ සමාගම් වලට තම සේවාවන් පුළුල් කිරීමට අගනා අවස්ථාවක් හිමි වී තිබේ.

    නීල්සන් සමාගම පාරිභෝගිකයන් නරඹන, ශ්‍රවණය කරන සහ මිලදී ගන්නා දේවල් සම්බන්ධයෙන් සමීක්ෂණ සිදුකර දත්ත රැස් කරමින්, එම දත්ත වෙළඳපොළ තොරතුරු ක්‍රමවේදයන් හරහා සමාගම් හා ආයතන වෙත සන්නිවේදනය කළේ ය. 1923 වර්ෂයේදී ආරම්භ වූ එම සමාගම සමීක්ෂණ සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛයා ලෙස සැලකේ. කුඩා පරිමාණ ව්‍යාපාර වලට තම ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීමට අවශ්‍ය වටිනා තොරතුරු සැපයීම ඔස්සේ එම සමාගම ශ්‍රී ලංකාවටද අමිල මෙහෙවරක් ඉටුකර ඇත.

    නීල්සන් සමාගම මෙතෙක් සිදුකළ දේශීය ජනමාධ්‍ය නිරීක්ෂණ ව්‍යාපාර කටයුතු මේ වනවිට බ්‍රිතාන්‍ය වෙළඳපොළ සමීක්ෂණ සමාගමක් වන 'කන්ටාර්' (Kantar) විසින් අත්පත් කරගෙන තිබේ. මින් ඉදිරියට එම සමාගමට, අදාළ ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන ශක්තිමත් දේශීය සමාගම් වන 'සර්වේ රිසර්ච් ලංකා (Survey Research Lanka) සහ ලංකා මොනිටරින් ඒජන්සි (Lanka Monitoring Agency) වෙතින් දැඩි තරගයකට මුහුණ දීමට සිදුවනු ඇත.

    1989 වර්ෂයේදී ආරම්භ වූ සර්වේ රිසර්ච් ලංකා සමාගම මෙරට සමීක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින සමාගමකි. එය මෙරට අලෙවිකරණ හා සමාජයීය සමීක්ෂණ ක්ෂේත්‍ර වල වර්ධනයට විශාල දායකත්වයක් ලබා දී ඇත. මේ වනවිට එම සමාගම ජනමාධ්‍ය නිරීක්ෂණය, රූපවාහිනී වැඩසටහන් ශ්‍රේණිගත කිරීමේ සේවාවන් සහ පසුවිපරම් (Tracking) සේවාවන් වැනි සේවාවන් රාශියක් ක්‍රියාත්මක කර තිබේ. සේවාදායකයන්, පාරිභෝගිකයන් හා නිෂ්පාදන සම්බන්ධයෙන් දැවැන්ත දත්ත එකතුවක් හිමි එම සමාගම සමෝධානික අලෙවිකරණ ක්‍රමෝපායන්ට අතිශයින් වැදගත් වන පුළුල් මට්ටමේ දත්ත හා තොරතුරු ලබා දෙයි.

    2008 වසරේදී ආරම්භ වූ ලංකා මොනිටරින් ඒජන්සි සමාගම, සාපේක්ෂව කෙටි ඉතිහාසයක් සහිත සමාගමක් වුවද,  විශේෂයෙන්ම ජනමාධ්‍ය නිරීක්ෂණ සේවාවන් සම්බන්ධයෙන් ප්‍රමුඛයෙකු බවට පත්වීමට සමත් වී තිබේ. ආරම්භයේදීම මාර්ගගත (online) දත්ත ගබඩාවක් නිර්මාණය කරමින් සුවිශේෂී ප්‍රවේශයක් අනුගමනය කිරීම ඔස්සේ තරගකරුවන් අභිභවා ඉදිරියට පැමිණීමට එම සමාගම සමත් විය. පුවත්පත්, රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා හා සමාජ මාධ්‍ය ආදිය නිරීක්ෂණය කරමින්, මාර්ගගත ගබඩාවක අදාළ දත්ත පවත්වාගෙන යන එම සමාගම, එම සියලුම දත්ත වලට නොමිලේ පිවිසීමේ අවස්ථාව මෙන්ම, දත්ත විශ්ලේෂණ මෙවලමක්ද තම සේවාදායකයන් වෙත ලබාදීමට කටයුතු කර තිබේ.

    මෙම දත්ත විශ්ලේෂණ මෙවලම මගින් අදාළ ප්‍රතිඵල හා තොරතුරු වර්ණවත් ප්‍රස්තාර හා වගු ආදිය බවට පරිවර්තනය කළ හැකි අතර එමගින් සේවාදායකයාට අදාළ ක්ෂේත්‍රයේ පුවත් හා දැන්වීම් ආදිය පිළිබඳව මෙන්ම නව ප්‍රවණතා සම්බන්ධයෙන්ද ඉතාමත් පැහැදිලි අදහසක් ලබාදෙයි. එමෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ වෙනත් කැපීපෙනෙන පුද්ගලයන්ගේ අදහස් හා මතවාද සහ තරගකාරී සමාගම් හා ආයතන වල ගමන්මග ආදිය මෙන්ම සිය ප්‍රවර්ධන හා මහජන සම්බන්ධතා කටයුතු පිළිබඳ වැදගත් තොරතුරුද සේවාදායකයන්ට මෙමගින් ලබාගත හැකි වේ.

    ජනමාධ්‍ය නිරීක්ෂණය යනු සාර්ථක මහජන සම්බන්ධතා ක්‍රමෝපායක් සකස් කරගැනීමේදී අතිශයින් වැදගත් වන අංගයකි. එමගින් අදාළ ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මනා අවබෝධයක් ලබාගනිමින්, අනාගත ප්‍රවණතා පුරෝකථනය කළ හැකි වේ. මේ සම්බන්ධයෙන් ගත්විට ලංකා මොනිටරින් ඒජන්සි සමාගමේ විශේෂත්වය වන්නේ, කිසියම් ක්ෂේත්‍රයක අදාළ වන සියලුම තොරතුරු, පරිපූර්ණ සහ තමන්ට කැමති පරිදි සකස් කරගත හැකි වාර්තාවක් ලෙස ලබාදෙන දෛනික ඊමේල් සේවාවක් පවත්වාගෙන යාමයි. මුද්‍රිත මාධ්‍ය සම්බන්ධ වාර්තාව එදිනම උදෑසන 9 වනවිට යවනු ලැබේ. අවශ්‍ය නම්, පළවී ඇති පුවත් හා වාර්තා ආදියෙහි සාරාංශයක් ඉල්ලා සිටිය හැකි අතර, එම සාරාංශයන් අවශ්‍ය පරිදි සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවන්ට පරිවර්තනය කළ හැක.

    සමස්තයක් ලෙස ගත් විට, මෙතෙක් නීල්සන් සමාගමට හොඳ තරගයක් ලබාදීමට මෙම දේශීය සමාගම් දෙක සමත් වුවද, නීල්සන් සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු නැවැත්වීමෙන් අනතුරුව, සේවාදායකයන්ට වඩාත් සාර්ථක අලෙවිකරණ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීම සඳහා බෙහෙවින් වැදගත් වන ආකාරයේ සේවාවක් ලබාදීමට ලංකා මොනිටරින් ඒජන්සි සමාගම පියවර ගෙන තිබේ. අනෙක් අතට, මෙලෙස කරුණු දැක්වීම මගින් සර්වේ රිසර්ච් ලංකා සමාගමේ දායකත්වය අවතක්සේරු නොවන අතර, සීමිත අලෙවි හැකියාවන් හා කණ්ඩායම් සහිත සේවාදායකයන්ට වඩාත් හොඳින් ගැළපෙන සේවාවක් ලබාදීමට එම සමාගමට හැකියාව ඇත.

    මේ වනවිට කන්ටාර් සමාගම තම ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇති පසුබිමක් තුළ වුවද මෙම දේශීය සමාගම් අඛණ්ඩව ඉදිරියට යනු නිසැක ය. කන්ටාර් සමාගම ආරම්භ වූයේ මූලික වශයෙන් රූපවාහිනී ප්‍රේක්ෂක ගණනයන් සිදුකරන සමාගමක් වශයෙනි. මේ වනවිට රටවල් 100 කට අධික සංඛ්‍යාවක ශාඛා පිහිටුවා ඇති එම සමාගම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වූ සන්නාමයක් බවට පත්වී ඇති අතර, පුළුල් පරාසයක පැතිරුණු සේවාවන් රාශියක් පිරිනමයි. කෙසේ වුවද, ශ්‍රී ලංකාවට ආවේණික වූ තත්ත්වයන් සහ දේශීය වෙළඳපොළ සම්බන්ධයෙන් ඇති අවබෝධය සැලකිල්ලට ගැනීමේදී, කන්ටාර් සමාගමට වඩා  සර්වේ රිසර්ච් ලංකා සහ ලංකා මොනිටරින් ඒජන්සි යන සමාගම් ඉදිරියෙන් සිටින බව කිව හැකි වේ. ඒ අනුව බලන විට, මෙම තරගයේ ජයග්‍රාහකයන් කවුද යන්න දැනටමත් තීරණය වී අවසාන ය.

    ඡායාරූපය: තම ප්‍රචාරණ කටයුතු වල ක්‍රියාකාරීත්වය තහවුරු කරගැනීම සඳහා මෙන්ම ජනමාධ්‍ය වෙනුවෙන් සිදුකරන වියදම් වලට අදාළ ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා ප්‍රධාන පෙළේ සමාගම් ජනමාධ්‍ය නිරීක්ෂණ (Media Monitoring) සේවාවන් භාවිතා කරයි.