July, 3, 2026
මෙරට ලැයිස්තුගත බලපත්‍රලාභී මූල්‍ය සමාගමක වූ නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි බලපත්‍රය අද (03) දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමටත්, 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ V වන කොටස අනුව සමාගම ගණන් බේරා වසා දැමීම සඳහා කටයුතු කිරීමටත් ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
එහිදී ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ සමාගමේ සමස්ත තැන්පත්කරුවන්ගෙන් 99.1%ක ගේ තැන්පතු මුදල් සම්පූර්ණයෙන්ම පියවිය හැකි ආකාරයෙන්, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය විසින්, 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත අනුව නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි රක්ෂණය කර ඇති තැන්පත්කරුවන් වෙත එක් තැන්පත්කරුවෙකු සඳහා උපරිමය රුපියල් 1,100,000/- දක්වා වන්දි ගෙවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇති බවයි.
එහිදී ඉතිරි 0.9% ක් වන තැන්පත්කරුවන්ට ද ඔවුන්ගේ තැන්පතු මුදලින් කොටසක් ලෙස රුපියල් 1,100,000/- ලබාදෙනු ඇති බවත් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.
බලපත්‍රය අවලංගු කරන දිනට එක් එක් තැන්පත්කරු වෙනුවෙන් සුදුසුකම් ලත් සියලුම තැන්පතු සහ නොගෙවූ උපචිත පොලී ඒකාබද්ධ කිරීමෙන් පසුව, ගෙවිය යුතු වන්දි මුදල ගණනය කරනු ලැබේ. ඉතිරි වන ශේෂයක් 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතෙහි දක්වා ඇති හිමිකම් පෑමේ ප්‍රමුඛතාවන්ට යටත්ව, ඈවර කිරීමේ ක්‍රියාවලියේදී තැන්පත්කරුවන්ට අය කර ගැනීමේ හැකියාවක් පවතී.
බලපත්‍රය අවලංගු කළ දිනයේ සිට වසර 6 ක උපරිම කාලයක් තුළ, එනම් 2032.07.02 දිනැතිව හෝ ඊට පෙර, නිසි ලෙස පිරවූ අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන්, තැන්පතු රක්ෂණ වන්දි ලබා ගත හැක.
නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි තැන්පතු සඳහා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වන්දි ඉල්ලා අයදුම් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධ වැඩිදුර තොරතුරු, පුවත්පත් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා ඉදිරියේදී සන්නිවේදනය කරනු ඇත. එතෙක්, තැන්පත්කරුවන් විසින් තම මුල් තැන්පතු සහතික හා අදාළ අනන්‍යතා සනාථ කිරීමේ ලේඛන (ජාතික හැඳුනුම්පත, අනෙකුත් ලියාපදිංචි සහතික ආදිය) සූදානම්ව තබා ගන්නා ලෙස කාරුණිකව දැනුම් දෙනු ලැබේ.
Video Story