July, 3, 2026
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන යටතේ 2025.07.04 දින සිට බලපැවැත්වෙන පරිදි නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනය සම්බන්ධයෙන් නිරාකරණ ක්‍රියාමාර්ග ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විවිධ නියාමන ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කළද, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනය, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන අඛණ්ඩව උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගනු ලැබීය. ඒ අනුව, 2025.07.04 දින සිටම බලපැවැත්වෙන පරිදි නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි සියලු වත්කම්, මෙහෙයුම් සහ ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන් පාලනය කිරීම සඳහාත්, සමාගමේ නමින් සහ සමාගම වෙනුවෙන් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහාත්, පී.ඩබ්ලිව්.ඩී.එන්.ආර්. රොද්‍රිගු මහතා අද්මිනිස්ත්‍රාසිකරු ලෙස පත් කරන ලදී.
නිරාකරණ අධිකාරිය වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ ස්ථාවරත්වය සහ පැවැත්ම තහවුරු කිරීම අරමුණු කරගනිමින් අඛණ්ඩව උපායමාර්ගික ක්‍රියාමාර්ග අනුගමනය කර ඇති බව ද මහජනතාව වෙත දැනුම් දෙනු ලැබේ. අද්මිනිස්ත්‍රාසිකරු සමඟ සම්බන්ධීකරණයෙන් සිදු කරන ලද, ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් නිරාකරණ ක්‍රියාමාර්ග වලට අනුව, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි පැවැත්ම තහවුරු කිරීම සඳහා විවිධ ව්‍යුහමය විකල්ප සලකා බැලීම යටතේ, ශක්‍ය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම හා දැනට ස්ථාපිත සහ ස්ථාවර බලපත්‍රලාභී වාණිජ බැංකු හෝ මුදල් සමාගම් වෙත උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් විවෘත ආරාධනයක් නිල වශයෙන් නිකුත් කිරීම ද සිදු කරන ලදී.
කෙසේ වෙතත්, මෙම පුළුල් හා අඛණ්ඩ ප්‍රයත්නයන් සියල්ල මධ්‍යයේ වුවද, ශක්‍ය සහ දිගුකාලීනව තිරසාර විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී ඇත. එබැවින් නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි මූල්‍ය තත්ත්වයෙහි අඛණ්ඩ පිරිහීම සහ තවදුරටත් එම තත්වය පැවතීම, තැන්පත්කරුවන් සහ අනෙකුත් උනන්දුවක් දක්වන පාර්ශවයන්ට අහිතකර වන බව සලකා බලමින්, නිරාකරණ ක්‍රියාවලියේ අවසන් පියවර ලෙස, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි බලපත්‍රය 2026.07.03 දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමටත්, 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ V වන කොටස අනුව සමාගම ගණන් බේරා වසා දැමීම සඳහා කටයුතු කිරීමටත් ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය විසින්, 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත අනුව නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි රක්ෂණය කර ඇති තැන්පත්කරුවන් වෙත එක් තැන්පත්කරුවෙකු සඳහා උපරිමය රුපියල් 1,100,000/- දක්වා වන්දි ගෙවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇත. එමඟින් සමාගමේ සමස්ත තැන්පත්කරුවන්ගෙන් 99.1% ක් සම්පූර්ණයෙන් පියවීමට හැකි වන අතර, ඉතිරි 0.9% ක් වන තැන්පත්කරුවන්ට ද ඔවුන්ගේ තැන්පතු මුදලින් කොටසක් ලෙස රුපියල් 1,100,000/- ලබාදෙනු ඇත. බලපත්‍රය අවලංගු කරන දිනට එක් එක් තැන්පත්කරු වෙනුවෙන් සුදුසුකම් ලත් සියලුම තැන්පතු සහ නොගෙවූ උපචිත පොලී ඒකාබද්ධ කිරීමෙන් පසුව, ගෙවිය යුතු වන්දි මුදල ගණනය කරනු ලැබේ. ඉතිරි වන ශේෂයක් 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතෙහි දක්වා ඇති හිමිකම් පෑමේ ප්‍රමුඛතාවන්ට යටත්ව, ඈවර කිරීමේ ක්‍රියාවලියේදී තැන්පත්කරුවන්ට අය කර ගැනීමේ හැකියාවක් පවතී. බලපත්‍රය අවලංගු කළ දිනයේ සිට වසර 6 ක උපරිම කාලයක් තුළ, එනම් 2032.07.02 දිනැතිව හෝ ඊට පෙර, නිසි ලෙස පිරවූ අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන්, තැන්පතු රක්ෂණ වන්දි ලබා ගත හැක. නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි තැන්පතු සඳහා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වන්දි ඉල්ලා අයදුම් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධ වැඩිදුර තොරතුරු, පුවත්පත් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා ඉදිරියේදී සන්නිවේදනය කරනු ඇත. එතෙක්, තැන්පත්කරුවන් විසින් තම මුල් තැන්පතු සහතික හා අදාළ අනන්‍යතා සනාථ කිරීමේ ලේඛන (ජාතික හැඳුනුම්පත, අනෙකුත් ලියාපදිංචි සහතික ආදිය) සූදානම්ව තබා ගන්නා ලෙස කාරුණිකව දැනුම් දෙනු ලැබේ.
නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි සියලු ණයගැතියන්ට තමන්ගේ ණය මුදල් නියමිත කාලය තුළ, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී නමින් පවත්වාගෙන යන බැංකු ගිණුමක් හරහා පමණක් ගෙවන ලෙසත්, එකී ගෙවීම් සම්බන්ධයෙන් නිසි වාර්තා පවත්වාගෙන යාමටත් උපදෙස් දෙනු ලැබේ. නියමිත පරිදි ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබීමට ඉඩ ඇති බව ද දැනුම් දෙනු ලැබේ.
වැඩිදුර විස්තර සඳහා:

Video Story