ප්ලාස්ටික්: ඉඳි ආප්ප වට්ටි, පිඟන්, කෝප්ප, හැඳි තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

    August, 8, 2021

    පරිසරයට අහිතකර තවත් භාණ්ඩ වර්ග 08 ක් තහනම් කිරීමට ඉදිරියේදී අමාත්ය මණ්ඩල පත්රිකාවක් යොමු කරන බව පරිසර කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති, අමාත්ය මහින්ද අමරවීර මහතා පසුගියදා (05) පැවසීය.
    ඊට පොලිතීන් බෑග්, ප්ලාස්ටික් ඉදි ආප්ප වට්ටි, ප්ලාස්ටික් පිගන් ,ප්ලාස්ටික් කෝප්ප, ප්ලාස්ටික් හැඳි වැනිදෑ ඇතුළත් වන බව එම කාරක සභාවේ රැස්වීමේදී අමාත්යවරයා වැඩිදුරටත් කීවේය.
    ලන්ච්ෂීට් තහනම් කිරීමේ නීතිය ලබන සැප්තැම්බර් 01 වැනිදා සිට දැඩිව ක්රියාත්මක කරන බවද අමාත්ය මහින්ද අමරවීර මහතා කාරක සභාවේදී අවධාරණය කළේය. ඊට අදාළ වැටලීම් ඉහළ නංවන ලෙසද හෙතෙම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
    වර්තමානයේ උද්ගතව ඇති කොවිඩ් 19 වසංගත තත්ත්වය සමඟ භාවිත කරන මුව ආවරණ නිසි පරිදි බැහැර නොකිරීම හේතුවෙන් සමාජය තුල පාරිසරික ගැටලු රැසක් උද්ගතව පවතින බව පාර්ලිමේන්තු මන්ත්රී මධුර විතානගේ මහතා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.
    මුව ආවරණ නිසි පරිදි බැහැර කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සංග්රහයක් හඳුන්වාදී ඇති බවත්, එය මේ වන විට සෞඛ්ය අමාත්යාංශයේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවත්, මධ්යම පරිසර අධිකාරිය සභාවට දැන්වීය.
    මුව ආවරණ බැහැර කිරීමේදී ජනතාව වඩාත් සැළකිලිමත් විය යුතු බව කාරක සභාවේ සභාපතිවරයාද මෙහිදී කීවේය.
    මෙම කාරණයේදී පළාත් පාලන ආයතන වෙත විශාල වගකීමක් පැවරෙන බව පරිසර කටයුතු අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.
    ගන්නොරුව ප්රදේශයේ මහවැලි ගඟ ආශ්රිතව අනවසරයෙන් හෝටලයක් ඉදිකර තිබීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය. ප්රදේශයේ ප්රබල ව්යාපාරිකයෙකු මෙය ඉදිකර ඇති බවත්, මේ හේතුවෙන් පරිසර ගැටළු රැසක් නිර්මාණය වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්රී වසන්ත යාපා බංඩාර මහතා මෙහිදී අවධාරණය කළේය. මේ සම්බන්ධව අදාළ ආයතන නිසි ක්රියාමාර්ග නොගෙනීම බරපතළ ගැටලුවක් බවද මන්ත්රීවරයා කීවේය.
    මේ පිළිබඳව විශේෂ සාකච්ජාවක් කඩිනමින් පැවැත්විය යුතු බවත්,එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීම යෝග්ය බවත් කාරක සභාව මෙහිදී නිර්දේශ කළේය.
    මෙම කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්රිවරුන් වන ගුණතිලක රාජපක්ෂ, අමරකීර්ති අතුකෝරළ,කිංස් නෙල්සන්,වීරසුමන වීරසිංහ,උපුල් මහේන්ද්ර රාජපක්ෂ යන මහත්වරුද, රාජ්ය නිලධාරිහු පිරිසක්ද සහභාගී වූහ.