ප්‍රයිම් ලෑන්ඩ්ස් හා මෙල්වා එක් වී පෝට් සිටිහි ජාත්‍යන්තර මට්ටමේ මරීනා-ෆ්‍රන්ට් සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය අරඹයි

    May, 26, 2026

    ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගම් දෙකක් වන ප්‍රයිම් ලෑන්ඩ්ස් සහ මෙල්වා එක් වී පෝට් සිටිහි ජාත්‍යන්තර මට්ටමේ මරීනා-ෆ්‍රන්ට් සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ දිගු කාලීන ආර්ථික අනාගතය පිළිබඳව වර්ධනය වන විශ්වාසය පිළිබිඹු කරමින් මෙම සමාගම් දෙක පෝට් සිටිහි මරීනා කළාපයේ පිහිටි අක්කර හතරක වටිනා ඉඩම් කොටසක් අත්පත් කර ගෙන ඇති අතර එහි සංවර්ධනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 57.6 ක ආයෝජනයක් සිදු කිරීමට නියමිතය. ව්‍යාපෘතිය සම්පූර්ණ වීමෙන් අනතුරුව ඇමෙරිකානු ඩොලර් මිලියන 250කට අධික ආදායමක් අපේක්ෂා කෙරේ.

    ශ්‍රී ලංකාවේ පළමු විදේශ මුදල් භාවිත විශේෂ ආර්ථික කළාපය වන පෝට් සිටි තුළ කෙරෙන මෙම සංවර්ධනය මෙරට සුඛෝපභෝගී ජලාශ්‍රිත නාගරික ජීවන රටාවට නව ජාත්‍යන්තර ප්‍රමිතියක් එක් කරනු ඇතැයි කර්මාන්ත ක්ෂේත්‍රය විශ්වාසය පළ කරයි. මෙම සංවර්ධනයේ විශේෂත්වය වන්නේ සාගරය සහ ඇළ යන ජල මාර්ග දෙකටම සෘජු මුහුණතක් හිමි වීමයි. එම නිසා සෑම නිවාස ඒකකයක්ම බාධාවකින් තොරව සාගර හා ජලාශ්‍රිත දර්ශන උපරිම ලෙස භුක්ති විඳිය හැකි ආකාරයට සැළැසුම් කර ඇත. නවීන සුඛෝපභෝගී ජීවන රටාව, අලංකාර ගෘහ නිර්මාණ ශිල්පය සහ ජාත්‍යන්තර මට්ටමේ නාගරික පහසුකම් මෙහිදී එකට එක් වෙයි. මෙම ව්‍යාපෘතිය සුඛෝපභෝගී නිවාස සංවර්ධනයක් පමණක් නොව ශ්‍රී ලංකාව ගෝලීය ආයෝජන සිතියමේ තවත් ඉහළ ස්ථානයකට රැගෙන යාම සඳහා වූ දිගු කාලීන දැක්මක කොටසක් ලෙසද සැළැකේ. ජාත්‍යන්තර වශයෙන් මරීනා-ෆ්‍රන්ට් දේපොළ සුඛෝපභෝගී දේපොළ වෙළෙඳපොළේ ඉහළම ඉල්ලුමක් ඇති වත්කම් අතරට අයත් වන අතර මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වඩාත්ම සුවිශේෂ ජලාශ්‍රිත ලිපිනය බවට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    මෙල්වා සමූහ ව්‍යාපාරය දශක ගණනාවක පළපුරුද්දක් සහිත වානේ නිෂ්පාදන, යටිතල පහසුකම් හා කර්මාන්ත සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් වන අතර ප්‍රයිම් ලෑන්ඩ්ස් වසර 30කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවේ නවීන නාගරික ප්‍රජාවක් ගොඩ නගන ප්‍රමුඛ දේපොළ සංවර්ධන සමාගමක් ලෙස කටයුතු කරයි. මෙල්වා සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු මෙම ව්‍යාපෘතිය පිළිබඳව සඳහන් කළේ ප්‍රයිම් සහ මෙල්වා එක් වීම යනු අත්දැකීම්, දූරදර්ශී දැක්ම සහ කර්මාන්ත නායකත්වය එක් වූ සුවිශේෂ ජාත්‍යන්තර මට්ටමේ සංවර්ධනයක් බිහි කිරීමක් බවත්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්ටමේ නාගරික ජීවන හා ආයෝජන ගමනාන්තයක් ලෙස ඉදිරියට ගෙන යාමේ විශ්වාසය මෙම ව්‍යාපෘතිය තුළින් නිරූපණය වන බවත්ය. මෙම සංවර්ධනය ඉදි කිරීම්, ඉංජිනේරු, ප්‍රවාහන, වෘත්තීය සේවා සහ ආශ්‍රිත කර්මාන්ත රැසකට ආර්ථික අවස්ථා රැසක් නිර්මාණය කරනු ඇති අතර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් තරගකාරී ආයෝජන හා දේපොළ සංවර්ධන ගමනාන්තයක් ලෙස තව දුරටත් ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.