පිරිසිදු බලශක්ති ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, දකුණු ආසියාවේ ප්‍රථම සූර්ය බලශක්ති බේකරි පෝරණය ශ්‍රී ලංකාවේදී එළිදක්වයි

    May, 27, 2026

    දකුණු ආසියාවේ ප්‍රථම සූර්ය දෙමුහුන් (solar hybrid) බේකරි පෝරණය නිල වශයෙන් එළිදැක්වීම පසුගියදා (22) කොළඹ දී සිදුවිය.

    ඒ අනුව අස්ථාවර කාලගුණික තත්ත්වයන් යටතේ වුවද කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක විය හැකි පරිදි, සූර්ය බලශක්තිය සහ ජෛව වායු (biogas) බලශක්ති ප්‍රභවයන් දෙකම ඒකාබද්ධ කර සැලසුම් කරන ලද සූර්ය දෙමුහුන් බේකරි පෝරණයක් එළිදැක්වූ දකුණු ආසියාවේ ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත්විය.

    මෙම එළිදැක්වීම කිලිනොච්චි ජර්මන් ටෙක් (German Tech Kilinochchi) ආයතනයේ උපායමාර්ගික සහයෝගීතාවයෙන් යුතුව ඉන්සයිටෙයාර් ශ්‍රී ලංකා (Incitare Sri Lanka) සහ Global Rethinking Finance Collaborative (GRFC) ආයතන විසින් සංවිධානය කරන ලදී. මේ සඳහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ඔලිවර් ප්‍රාස් මහතා සහ ජී.අයි.සෙඩ් (GIZ) ශ්‍රී ලංකා ආයතනයේ නියෝජිත ෆැබියෝ ජර්මානෝ මහතා සහභාගී වූහ.

    මෙම මුලපිරීම හරහා දකුණු ආසියාවේ ප්‍රථම වතාවට යුරෝපීය පිරිසිදු තාක්ෂණයක් (European clean technology) ප්‍රායෝගිකව භාවිතයට ගෙන ඇත. මේ මඟින් පොසිල ඉන්ධන මත යැපෙන බේකරි කර්මාන්තය වෙනුවට සූර්ය බලශක්තිය සහ ජෛව වායුවෙන් ක්‍රියාත්මක වන විකල්ප හඳුන්වා දෙන අතර, එමඟින් තිරසාර ජීවනෝපායන් මෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු රැසක් සාක්ෂාත් කර ගැනීමට දායකත්වය සපයයි.

    Incitare International සහ GRFC හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනී බෙරිස් ග්වින් මහත්මිය, උත්සවයට පැමිණ සිටි පිරිස උණුසුම් අයුරින් පිළිගනිමින් අදහස් දැක්වූවාය. ඇයගේ පෞද්ගලික කැපවීම සහ නොපසුබට උත්සාහය නිසාම මෙම සුවිශේෂී සංකල්පය ශ්‍රී ලාංකීය පසෙහි සැබෑවක් බවට පත් කිරීමට හැකි විය. එහිදී ඇය මෙසේ පැවසුවාය: “කාබන් පියසටහන (carbon footprint) අවම කිරීමටත්, ආනයන මත යැපීම අඩු කරන නිෂ්පාදන බිහිකිරීමටත්, එමෙන්ම නව අපනයන කර්මාන්ත ක්ෂේත්‍රයක් ස්ථාපිත කිරීමටත් හැකියාව ඇති, සාමාන්‍ය ප්‍රජාවන්ට, බේකරි හිමියන්ට, පාරිසරික සංචාරක ව්‍යාපාරයන්ට මෙන්ම පුහුණු ආයතනවලට ද විශාල විභවතාවක් සහිත සූර්ය දෙමුහුන් පෝරණයක් ඉදිරිපත් කිරීමට අප දැන් සූදානම්.”

    මෙම වැඩසටහන භූමිය තුළ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ Incitare International හි ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා ෂෙරිල් ආර්න්ඩ්ට් මහත්මිය මෙසේ පැවසුවාය: “අද අප දකින්නේ, වෙනසක් සිදුවන තුරු බලා නොසිට, තමන් විසින්ම එම වෙනස ඇති කිරීමට තීරණය කළ ප්‍රජාවන්, හවුල්කරුවන් සහ ආයතන වසර ගණනාවක් තිස්සේ නිහඬව හා අධිෂ්ඨානශීලීව සිදුකළ කාර්යයේ ප්‍රතිඵලයයි. ශ්‍රී ලංකාව මෙහිදී හුදෙක් නව තාක්ෂණයක් වැළඳ ගැනීම පමණක් සිදුකර නැත. තිරසාර ජීවනෝපායන් සහ පිරිසිදු බලශක්තිය යනු හෙට දවස සඳහා වන අපේක්ෂාවන් පමණක් නොව, ඒවා මේ දැන්, මෙතැනදීම සැබෑවක් වෙමින් පවතින බව ශ්‍රී ලංකාව ඔප්පු කර පෙන්වා දී තිබෙනවා.”

    මෙම මුලපිරීම ආරම්භ වූයේ 2025 මාර්තු මාසයේදී, ප්‍රධාන රාජ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් යුතුව පවත්වන ලද ජාතික මට්ටමේ පාර්ශවකරුවන්ගේ සංවාදයකිනි. එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ප්‍රධාන හවුල්කාරිත්වයන් තුනක් ගොඩනැගුණු අතර, ඒවා සූර්ය පෝරණ පරිත්‍යාග කිරීම, අඩු පිරිවැයකින් යුත් දේශීයව නිෂ්පාදිත සූර්ය පෝරණයක් සංවර්ධනය කිරීම සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා තිරසාර ජීවනෝපාය අවස්ථා පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

    තාක්ෂණික හුවමාරුව සහ දේශීය නවෝත්පාදන කටයුතු සඳහා තම සංවිධානයේ මූලිකත්වය විග්‍රහ කරමින් ජී.අයි.සෙඩ් (GIZ) ශ්‍රී ලංකා නියෝජිත ෆැබියෝ ජර්මානෝ මහතා මෙම සන්ධිස්ථානය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය: “Incitare International, ජී.අයි.සෙඩ් ශ්‍රී ලංකා සහ කිලිනොච්චියේ පිහිටි ශ්‍රී ලංකා-ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනය (SLGTTI) සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වයේ කොටස්කරුවෙකු වීමට ලැබීම මට සතුටක් මෙන්ම ගෞරවයක්. මෙම ආරාධනය වෙනුවෙන් බෙරිස් මහත්මියට සහ ෂෙරිල් මහත්මියට මගේ අවංක ස්තූතිය පුද කර සිටිනවා. මාස ගණනාවක උත්සාහයකින් පසු, කිලිනොච්චියේ සිට මෙතරම් දුරක් පැමිණි මෙම නිමවුණු නිෂ්පාදනය අද මෙතැනදී දැකීමට ලැබීම සැබවින්ම ප්‍රතිඵලදායකයි.”

    මෙම උත්සවයේදී, කිලිනොච්චි ජර්මන් ටෙක් සහ ඉන්සයිටෙයාර් ශ්‍රී ලංකා කණ්ඩායම් වෙත සහතික පත්‍ර ප්‍රදානය කෙරුණේ ප්‍රධාන ආරාධිත අමුත්තන් අතිනි. එමඟින් මෙම මුලපිරීම හුදු සංකල්පයක සිට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන මට්ටමක් දක්වා ගෙන ඒමට ඔවුන් ඉටුකළ මෙහෙවර ඇගයීමට ලක්විය.

    ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණුව සහ තිරසාර ජීවනෝපාය සංවර්ධනය සඳහා අඛණ්ඩව සහයෝගය දක්වන ඔලිවර් ප්‍රාස් මහතා මෙසේ සඳහන් කළේය: “ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති භාවිතය තවමත් සාපේක්ෂව අඩු මට්ටමක පවතිනවා. ජලය සහ ගල්අඟුරු වැනි වඩාත් ස්ථාපිත බලශක්ති ප්‍රභවයන් සමඟ සංසන්දනය කිරීමේදී, පසුගිය වසර තුන හතරක කාලය තුළ එය සමස්ත බලශක්ති සංකලනයෙන් සියයට 12 කට වඩා අඩු ප්‍රමාණයක්.”

    එමෙන්ම ඔලිවර් ප්‍රාස් මහතා ශ්‍රී ලංකාවේ බලශක්ති සැපයුමට බලපාන අභියෝග තුනක් ද පෙන්වා දුන්නේය. ඒ අනුව මැදපෙරදිග පවතින අස්ථාවරත්වය හේතුවෙන් සිදුවන සැපයුම් බිඳවැටීම් වන අතර, එමඟින් පසුගිය මාස කිහිපය තුළ තුන් වතාවක්ම ඉන්ධන මිල ඉහළ ගොස් ඇත. මෙය රට තුළ පවතින මාස දෙක තුනක සීමිත ගබඩා ධාරිතාව හේතුවෙන් තවදුරටත් දැඩි වී ඇත. දෙවැන්න, බාල තත්ත්වයේ ගල්අඟුරු ආනයනය කිරීම වන අතර, එමඟින් විදුලි ජනනයේ විශ්වසනීයත්වය පළුදු වී ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය. තෙවැන්න වශයෙන් පසුගිය මාස කිහිපය තුළ ලැබුණු ප්‍රමාණවත් නොවන වර්ෂාපතනය වන අතර, එමඟින් ජල විදුලි උත්පාදනය අඩු වී ඇති අතර දැනටමත් සීමිත වී පවතින ජල ගබඩා තත්ත්වය තවදුරටත් පීඩනයට පත් කර ඇතිබව වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

    Incitare International යනු ජිනීවා නුවර ප්‍රධාන කාර්යාලය පිහිටි, ස්විට්සර්ලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සහයෝගීතා වේදිකාවකි. ගෝලීය සංවර්ධනය, මානුෂීය පද්ධතීන් සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් තුළට අනාගතවාදී චින්තනය සහ සාරධර්ම මත පදනම් වූ සහයෝගීතාවය ගෙන ඒම සඳහා මෙය බෙරිස් ග්වින් මහත්මිය විසින් ආරම්භ කරන ලද්දකි. කිලිනොච්චි ජර්මන් ටෙක් (German Tech Kilinochchi) යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටි වෘත්තීය පුහුණු ආයතනයක් වන අතර, ජී.අයි.සෙඩ් ශ්‍රී ලංකා (GIZ Sri Lanka) යනු ජර්මානු සංවර්ධන ආයතනයයි. අද දින සනිටුහන් වූ මෙම සන්ධිස්ථානය සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන් ප්‍රධාන ක්‍රියාත්මක කිරීමේ හවුල්කරුවන් ලෙස කටයුතු කළහ.

    (වමේ සිට දකුණට): ෆැබියෝ ජර්මානෝ මහතා (GIZ ශ්‍රී ලංකා නියෝජිත); ඔලිවර් ප්‍රාස් මහතා (ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී); බෙරිස් ග්වින් මහත්මිය (Incitare International සහ GRFC හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනී); සහ ෂෙරිල් ආර්න්ඩ්ට් මහත්මිය (හි ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා) Incitare International

    සූර්ය දෙමුහුන් බේකරි පෝරණය නිල වශයෙන් එළිදැක්වීම

    මෙම මුලපිරීම සංකල්පයක සිට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන මට්ටමක් දක්වා ගෙන ඒමට දායක වූ කිලිනොච්චි ජර්මන් ටෙක් ආයතනයේ සාමාජිකයින් ඇතුළත් කණ්ඩායම