• Ada Derana BIZ Sinhala
  • ranjith siyabalapitiya
  • sri lanka
  • tax

“බදු ඉලක්කවලින් 68%ක් සම්පූර්ණයි” – මුදල් රාජ්‍ය අමාත්‍ය

November, 3, 2022

රටේ බදු ආදායමේ සැබෑ තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් නුදුරේ දී ම ජනතාව වෙත ඉදිරිපත් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව එක්ව සකස් කෙරෙන මෙම වාර්තාවේ අවසන් සාකච්ඡාව අද (03) පවත්වන බවයි. බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඇතැමෙකුට නීරස වුව ද මේ මොහොතේ බදු පිළිබඳ කතා නොකළ හොත් වෙනත් කිසිදු මාතෘකාවක් කතා කළ නොහැකි මට්ටමට රට පත් වනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි. සියඹලාපිටිය මහතා මේ බව කියා සිටියේ දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට අද (03) එක්වෙමිනි.

“දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රටේ ආර්ථිකය ඉදිරියට රැගෙන යාමේ සුවිශේෂී කාර්යභාරයක නිතර වෙනවා. ඇතැම් විට අපි ඔවුන්ට දෙන්නෙ ඉතා අසීරු ආදායම් ඉලක්ක. 2021 වසරේ දී අපි ඔවුන්ට ලබා දුන්නා වසර අවසානයේ දී රුපියල් බිලියන 488ක බදු ආදායමක් හොයල දෙන්න කියන අසීරු ඉල්ලකයක්. නමුත් වසර අවසන් වෙද්දි ඔවුන් ඒ ඉලක්කය ඉක්මවා යමින් රුපියල් බිලියන 497ක ආදායමක් හොයල දුන්න. එය අපේක්ෂා කළ ආදායමට වඩා 101.8%ක ඉහළ යාමක්.

2022 වසරේ අපේ ඉලක්කය වුණේ රුපියල් බිලියන 915ක බදු ආදායමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා උපයා ගැනීම. සතුටින් කියන්න පුළුවන් පසුගිය සැප්තැම්බර් මාසෙ අවසන් වෙද්දි එම ඉල්ලකයෙන් 68.4%ක් හොයල ඉවරයි. මේ සියල්ල උපයා ගන්නෙ 8.2%ක ඍණ ආර්ථිකයක් රටේ පවතිද්දි” යැයි අමාත්‍යවරයා කියා සිටියේ ය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩී.ආර්.එස්. හපුආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Video Story

Stock Market

Exchange Rates