May, 28, 2026
හරිතාගාර වායු විමෝචනය නිවැරදිව මැන බැලීම සඳහා වන ජාත්‍යන්තර තත්ව සහතිකය හිමි කර ගනියි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුකුළු මස් හා මස් ආශ්‍රිත නිෂ්පාදන සමාගම වන බයිරහා ෆාම්ස් පී එල් සී සිය ව්‍යාපාරික මෙහෙයුම්හි තවත් සුවිශේෂී කඩඉමක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. ඒ ආයතනික මට්ටමින් ඉහළම විශ්වසනීයත්වයක් සනිටුහන් කරමින් හරිතාගාර වායු පිළිබඳ ජාත්‍යන්තර සහතිකය (Greenhouse Gas (GHG)) හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදන සමාගමක් බවට පත් වෙමිනි. ISO 14064 ක්‍රමවේදය යටතේ මේ ආකාරයේ සහතික කිරීමේ අවස්ථා දෙකක් ලබා දෙන අතර මෙය එහි වැඩි දත්ත පරීක්ෂා කිරීම තුලින් ලබා දෙන ඉහළම තත්ව සහතිකය ලෙසද පෙන්වා දිය හැකිය. මෙම සහතිකය හිමිකර ගැනීම තුලින් සිය මෙහෙයුම්හිදී පරිසරයට මුදාහරිනු ලබන කාබන් ප්‍රමාණය පිළිබඳ වාර්තා ඉතා නිවැරදි, විනිවිදභාවයෙන් යුත් හා විශ්වාසදායී බව තහවුරු කර ඇති බයිරහා ෆාම්ස් මෙරට කුකුළු මස් නිෂ්පාදන ක්ෂේත්‍රයේ පාරිසරික සුරක්ෂිතතාව වෙනුවෙන් ප්‍රමුඛත්වය ගැනීමටද සමත්ව සිටියි.
එමෙන්ම මෙම සහතිකය හිමිකර ගැනීමත් සමඟ බයිරහා ෆාම්ස්හි හරිතාගාර වායු ප්‍රකාශනය ISO 14064-1:2018 ජාතන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කර ඇති බව තහවුරු කරනු ලබයි. ආයතනික මට්ටමින් හරිතාගාර වායු විමෝචනය හා ඒවා පරිසරයෙන් බැහැර කිරීම පිළිබඳ නිවැරදිව පරීක්ෂා කර වාර්තා කිරීම සිදු කරනුයේ මෙම ප්‍රමිතිය මඟින් වන අතර එය ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයයි. එසේම මෙම දත්ත ISO 14064-3:2019 ප්‍රමිතියට අනුව ස්වාධීන පරීක්ෂකයින් මඟින් නිසි පරීක්ෂාවට ලක් කර තහවුරු කිරීම සිදු කරනු ලබයි.
පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා දේශගුණික අරමුදල මඟින් මෙම සහතිකය නිකුත් කොට ඇති අතර ඒ අනුව, පරිසර අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙම සුවිශේෂී තත්ත්වය ළඟා කරගත් එකම කුකුළු මස් නිෂ්පාදන සමාගම බවට බයිරහා ෆාම්ස් පත් වනු ඇත. මේ සඳහා වන නිල සහතිකය ප්‍රදානය කිරීම 2026 වසර මුල් භාගයේදී පරිසර අමාත්‍යාංශ ලේකම් සහ ශ්‍රී ලංකා දේශගුණික අරමුදලේ සභාපති කේ. ආර්. උඩුවාවල මහතා විසින් පරිසර අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදී. ආයතන දෙකෙහිම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා දේශගුණික අරමුදලේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනී හර්ෂණී අබේරත්න, සහකාර කළමනාකාරිණී (ව්‍යාපෘති හා තත්ව කළමනාකරණ) යශෝධා ලේකම්ගේ සහ ව්‍යාපෘති විධායිකා මධුභාෂිණී ගුණතිලක යන මහත්මීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බයිරහා ෆාම්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ යාකුත් නලීම් මහතා “ශ්‍රී ලංකා දේශගුණික අරමුදල මඟින් හිමිකර දුන් මෙම සුවිශේෂී සහතිකය බයිරහා සමාගමේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරනවා. අපගේ මෙහෙයුම් ජාත්‍යන්තර මට්ටමේ දේශගුණික සහතිකයක් මඟින් ඇගයීමට ලක්වීම ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම විදේශීය හවුල්කරුවන් ඇතුලු සියලු දෙනාට සුවිසල් වටිනාකමක් එක් කරනවා. අපගෙන් පරිසරයට සිදුවන බලපෑම නිවැරදිව මැන ගැනීම, අවම කිරීම සහ ඒ පිළිබඳව නිරන්තර අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය වනවා. ශ්‍රී ලාංකිකයින් පෝෂණය කිරීමේ අපගේ වසර 50ක මෙහෙයුම් සනිටුහන් කරන මේ මොහොතේ පාරිසරික සුරක්ෂිතතාව හා තිරසාර පදනමක් මත අපගේ ඉදිරි ගමන සිදු වන බව මෙම සහතිකය මඟින් මනාව තහවුරු වනවා” යනුවෙන් පැවසීය.
මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ලෝක වෙළෙඳපොල තුල ඇති පරිසරයට අවම හානියක් කරන සහ විනිවිදභාවයෙන් යුත් නිෂ්පාදන ක්‍රියාවලියක් සහිත සැපයුම් දාමයන්ට ඇති ඉල්ලුම ඉහළ යමින් පවතින යුගයක මෙම සහතිකය හිමි වීමයි. මේ නිසාම ජාත්‍යන්තර ගැනුම්කරුවන් හා නියාමන ආයතන සඳහා විශ්වාසදායී හවුල්කරුවකු බවට පත් වීමට බයිරහා ෆාම්ස් ආයතනයට හැකි වී ඇත. එමෙන්ම පාරිසරික, සමාජීය සහ යහපාලන පිළිවෙත් අනුව ඉදිරියට ගමන් කිරීමේ සමාගමේ දැක්ම මනාව ප්‍රදර්ශනය කරන මෙම පිළිගැනීම ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ පාරිසරික අරමුණු සමඟද මනාව ගැලපේ.
එසේම මේ තුලින් සමස්ත ක්‍රියාවලිය තුල සිදුවන වායු විමෝචනය මනාව දැකගත හැකි අතර ආයතනික ප්‍රමිතීන් තවදුරටත් ඉහළ නංවා ගැනීමටද අවකාශ උදා වේ. වගකිවයුතු ව්‍යාපාරික වර්ධනය, වඩාත් විනිවිදභාවයෙන් යුත් ශක්තිමත් හා දේශගුණය පිළිබඳ අවධානය යොමු කරන වටිනාකම් දාමයක් ගොඩනැගීමේ සුවිශේෂී පියවරක් ලෙසද මෙය සඳහන් කළ හැකිය.
Video Story