May, 24, 2026
මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය ලීසිං ආයතන විසින් මෝටර්රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේ දී වාහනයේ වටිනාකම මෙන් ලබා දිය හැකි ණය සීමාව සඳහා උපරිම සීමා යාවත්කාලීන කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව මාර්ගෝපදේශ සංග්‍රහයක් අද (24) දින නිකුත් කර තිබෙන අතර මෙම නියමයන් හෙට (25) දින සිට බලපැවැත්වෙනු ඇත.
ඒ අනුව පළමු ලියාපදිංචියෙන් වසරකට වැඩි කාලයක් ශ්‍රී ලංකාව තුළ භාවිත කළ වාහන සඳහා මූල්‍ය පහසුකම් ලබා දිය හැකි උපරිම සීමාව වාහනයේ වටිනාකම මෙන් 60%ක් වනු ඇත.
එසේම මෙතෙක් ලියාපදිංචි නොකළ සහ පළමු ලියාපදිංචියෙන් වසරක් ඉක්මවා ගොස් නොමැති වාහන සඳහා අදාළ සීමාව වානිජ වාහන වෙනුවෙන් 60%ක් වේ.
මීට අමතරව මෝටර් කාර්, SUV රථ, වෑන්, ත්‍රීවීල් සහ අනෙකුත් වාහන සඳහා අදාළ සීමාව වාහනයේ වටිනාකම මෙන් 40%ක් දක්වා වේ.
මීට පෙර මෙම සීමාවන් වානිජ වාහන සඳහා 70%ක් සහ සෙසු වාහන සඳහා 50%ක් ලෙසින් සටහන්ව තිබුණි.
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, විචක්ෂණශීලී ණය දීමේ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම, මූල්‍ය ආයතනවල ඔරොත්තු දීමේ හැකියාව සුරක්ෂිත කිරීම සහ පද්ධතිමය අවදානම් ගොඩනැඟීම අවම කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එහි සාර්ව විචක්ෂණ අධිකාරියට අනුකූලව මෙම පියවර ගනු ලැබූ බවයි.
මෙම තීරණවලට එළඹීමේදී, මෝටර් රථ වාහන මූල්‍යකරණය සඳහා ලබාදුන් ණය පහසුකම්වල මෑතකදී ඇති වූ සැලකිය යුතු වර්ධනය සහ එවැනි ප්රවණතා ඉදිරියටත් පැවතීම මගින් මූල්‍ය පද්ධතියට ඇති විය හැකි බලපෑම පාලක මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ බව මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කර සිටී.
මේ අතර වාහන ආනයනය සඳහා වූ අධිභාරය තාවකාලිකව ඉහළ නැංවීම සහ විනිමය අනුපාතයන්හි සිදුවන වෙනස්වීම් හේතුවෙන් වාහන මිල ගණන් තාවකාලිකව ඉහළ යෑමේ හැකියාවක් පවතින බව මහ බැංකුව සඳහන් කරයි. මෙවැනි උච්චාවචනයන් ඇපකරවල වටිනාකමට මෙන්ම ඒ හා සම්බන්ධ ණය අවදානම් කෙරෙහි ද බලපෑම් එල්ල කළ හැකි අතර අඛණ්ඩව සිදුවන වේගවත් ණය ප්‍රසාරණය හේතුවෙන් මූල්‍ය පද්ධතිය තුළ අධික අවදානම් ගොඩනැඟීම වැළැක්වීම සඳහා මැදිහත්වීමක් අවශ්‍ය බව මහ බැංකුවේ අදහස වී තිබේ.
ඒ අනුව, බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් විසින් මෝටර් රථ සම්බන්ධයෙන් ලබා දෙන ණය පහසුකම් සඳහා අදාළ වන වටිනාකම් මත උපරිම ණය අනුපාත සීමාවන් ප්‍රතිශතාංක 10කින් දැඩි කර ඇත.
Video Story