බැටරි ගබඩා බලශක්ති පද්ධති, ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීම සැප්තැම්බර් මස මුල දී

    August, 10, 2026

    රට තුළ ඇති විදුලිබල සම්ප්‍රේෂණ උපපොළ 16 කට සම්බන්ධ කිරීමට සැලසුම් කරන ලද වාණිජ මට්ටමේ බැටරි බලශක්ති පද්ධතිවල ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරයේ පවතින බව වාර්තා වේ. මෙම බැටරි පද්ධති මැයි සහ ජූනි මාස වලදී අවස්ථා තුනකදී කොළඹ වරාය හරහා ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය.

    WindForce PLC සමාගම විසින් අනුරාධපුර උපපොළ සමීපයේ ඉදිකරන ව්‍යාපෘතියේ වැඩකටයුතු 85% ක ප්‍රමාණයක් පමණ මේ වන විට අවසන්ව ඇත. දිවා කාලයේ දී සෝලා පද්ධති හරහා නිපදවන අමතර බලශක්තිය උපපොළ මඟින් මෙම බැටරි පද්ධතිවල ගබඩා කිරීම සිදු වේ. ඉන්පසු රාත්‍රි කාලයේ දී එම ගබඩා කළ බලශක්තිය නැවත උපපොළ හරහා අවශ්‍යතාව අනුව ජාතික විදුලිබල පද්ධතියට ලබාගැනීම සිදු කරයි.

    මේ මඟින් ජාතික විදුලිබල පද්ධතිය අස්ථාවර වීම වළක්වා ගන්නා අතර, ඩීසල් විදුලි බලාගාරවලින් රාත්‍රී කාලයේ දී ලබා ගන්නා විදුලිබල ශක්තිය අවම කරගැනීමට හැකි වේ. එක් ව්‍යාපෘතියකින් 10MW ක විදුලිබල ශක්තියක් ජාතික විදුලිබල පද්ධතියට ලබා ගැනීමට හැකි වන අතර, බලශක්ති අමාත්‍යාංශයට අයත් NSO (National System Operator Ltd) සමාගම විසින්, පාලන හා කළමනාකරණ කටයුතු සිදු කරයි.

    බැටරි පද්ධතිවල නඩත්තු කටයුතු අදාළ සමාගම්වලට පැවරේ. පාරිසරික හානි නොමැති, ස්ථාවර බලශක්තියක් සපයා දෙන මෙම ව්‍යාපෘති මඟින් අත්පත් කරගන්නා ප්‍රතිලාභ ඉදිරියේ දී පාරිභෝගිකයාට ලබා දීමට රජය කටයුතු කරගෙන යනු ලබයි. ඉදිරියේදී තවත් උපපොළ 23ක් සඳහා මෙම බැටරි පද්ධති සවිකිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු සිදු වෙමින් පවතී.

    මෙම බලශක්ති ගබඩා පද්ධතිවල ගබඩා කෙරෙන විදුලිබල ශක්තිය, අවශ්‍යතාවය අනුව ජාතික විදුලිබල පද්ධතියට ලබා ගැනීම සැප්තැම්බර් මස මුලදී ආරම්භ කිරීමට හැකි බව, ඉදිකිරීම් කටයුතු සිදු කරන WindForce PLC සහ ගැලීලි බෙස් (Galilee Bess) සමාගම්වල බලධාරීන් ප්‍රකාශ කර සිටී.