බියර් අපනයන 16%කින් ඉහළ යද්දී බියර් සමාගමේ ලාභය 41% කින් වැඩිවෙයි

    February, 15, 2021

    දේශීය වෙළෙඳපොළ සහ අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරනිමින් බීර නිෂ්පාදනයේ නිරත මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන ලයන් බෲවරි සිලෝන් පීඒල්සී හි පසුගිය මාස 09 ක කාලය තුළ දී 16% කින් සිය අපනයන පරිමාව ඉහළ නංවා ගෙන ඇති බව අනාවරණය කර සිටී.

    2020 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය කාර්තුව වෙනුවෙන් වූ නවතම මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කරමින් සමාගම මෙහිදී වැඩිදුරටත් පවසන්නේ විවිධ අභියෝග මධ්‍යයේ අප්‍රිකානු සහ මැදපෙරදිග වෙළෙඳපොළ වර්ධනය කර ගැනීමට හැකිවී ඇති බවයි. තවද කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ගැල්පරිවහන හා ලොජිස්ටික් වියදම් ඉහළ යාම සමාගම මුහුණ දුන් ප්‍රධාන අභියෝගයක් බව ලයන් බෲවරි සිලෝන් පීඒල්සී වැඩිදුරටත් සඳහන් කරයි. මේ අතර පසුගිය කාලපරිච්ඡේදය තුළ දී සමාගමේ ප්‍රමුඛ වෙලෙඳපොළක් වන මාලදිවයින වෙත කළ අපනයන් හි පහළ යාමක් වාර්තා වී ඇත. සංචාරක කර්මාන්තය බිඳවැටීම මීට ප්‍රධාන හේතුවයි.

    ලයන් බෲවරි සිලෝන් පීඒල්සී නවතම මූල්‍ය වාර්තාවන්ට අනුව 2020 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය කාර්තුව තුළ දී රු. මිලියන 790 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර තිබෙන අතරඒය පසුගිය වර්ෂයේ අදාළ කාර්තුව හා සැසඳීමේ දී 41% ක වර්ධනයක් වේ. කෙසේ වෙතත් 2020 දෙසැම්බර් 31 න් අවසන් මාස 09 තුළ දී සමාගමේ බදු පසු ලාභය රු. බිලියන 1.96 ක් දක්වා 14% කින් පහළ ගොස් ඇත.