බොර තෙල් මිල අද තවත් පහළට

    June, 17, 2026

    මැදපෙරදිග අර්බුදය නිමාවට පත්වීමේ සුභවාදී වාතාවරණය හමුවේ මේ වන විට ගෝලීය වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් කැපීපෙනෙන ලෙස පහළ යාමට පටන් ගෙන තිබේ.

    අද (17) උදෑසන ශ්‍රී ලංකා වේලාවෙන් 10.30 පමණ වන විට ඇමරිකානු WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් 75.60ක් දක්වා ත්, බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 78.60ක් දක්වා ත් පහළ ගොස් තිබුණි.

    මේ අතර මර්බන් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ද ඩොලර් 71.81ක් දක්වා ඒ වන විට අඩු වී තිබුණි.

    මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් මර්බන් වර්ගයේ බොර තෙල් ආනයනය කර තිබුණු අතර පසුගිය කාලයේ දී ශ්‍රී ලංකාවට මර්බන් බොරතෙල් ආනයන කොන්ත්‍රාත්තු Vitol Asia, BB Energy Asia, Aditya Birla Global Trading, යනා දී සිංගප්පූරු සමාගම්වලට වරින් වර ලබා දී තිබූ බව වාර්තා වේ.

    පසුගිය මාර්තු 23 දින මර්බන් බොර තෙල් බැරලයක මිල මෙතෙක් ඉතිහාසයේ ඉහළම මිල වාර්තා කරමින් ඩොලර් 157.90ක් දක්වා ඉහළ ගොස් තිබුණි. මර්බන් බොර තෙල් යනු ගෝලීය ඉන්ධන වෙළෙඳපොළේ WTI සහ බ්‍රෙන්ට් යන බොර තෙල් වර්ගයන් හා සමාන වැදගත්කමක් ඇති බොර තෙල් වර්ගයකි.