June, 30, 2026
පසුගිය දා මාධ්‍ය විසින් වාර්තා කරන ලද රු. කෝටි 21,000ක මුදලකට සමාන ඩොලර් ප්‍රමාණයක්, භාණ්ඩ ආනයනය මුවාවෙන් මෙරටින් බැහැරට ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් අනාවරණය වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පවසයි. අද (30) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසූ අතර වැඩදුරටත් ඔහු කියා සිටියේ, රේගුවේ සත්‍ය ඉලක්කය වන්නේ එම පුද්ගලයා නොව ඔහු හරහා භාණ්ඩ ගෙන්වීමට කටයුතු කළ ආනයනකරුවන් බවයි.
මේ අතර භාණ්ඩ ආනයනයේ දී භාණ්ඩයේ වටිනාකම අඩුවෙන් සඳහන් කර තිබෙන ආනයනකරුවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාවට නංවා ඇති බව ද පැවසූ රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.
“ප්‍රධාන වශයෙන්ම භාණ්ඩයේ වටිනාකම මත තමයි බොහෝ බදු ගණනය වෙන්නේ. උදාහරණයක් හැටියට වැට් බද්ද 18%ක් ලෙස ගත්තොත්, මූලික වශයෙන්ම භාණ්ඩයේ වටිනාකම මත තමයි, මේ බද්ද ගණනය වෙන්නේ. ආනයනයයේ දී රජයට අයිති විය යුතු බදු අහිමි වෙන එක ප්‍රධාන කාරණාවත් තමයි මේ භාණ්ඩවල නියමිත වටිනාකම ප්‍රකාශ නොකිරීම. පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කළා, එක්තරා ව්‍යාපාරිකයෙක් ලංකාවේ මුදලින් රු. කෝටි 21,000ක් පමණ මුදලක් වටිනා ඩොලර් ප්‍රමාණයක් ආනයන කරන මුවාවෙන් පිටරට යවලා තියෙනවා. හැබැයි ආනයනය කරලා නැහැ කියලා. ඊට සමගාමීව ශ්‍රී ලංකා රේගුව විසින් රේගු විමර්ශන ගණනාවක් කරගෙන යනවා. ඒ පුද්ගලයා නෙමෙයි ඇත්තටම අපේ ටාගට් එක තියෙන්නේ, ආනයනකරුවෝ. හැබැයි ඒ ආනයනකරුවන් භාණ්ඩ සඳහා ගෙවපු මුදල හැටියට අපිට ප්‍රකාශ කරලා තියෙන මුදලට වඩා වැඩි ප්‍රමාණයක් ඇත්තටම ගෙවලා තියෙනවාද කියන එක . අපි කරපු විමර්ශනවලින් ගණනාවක් හොයාගන්න ලැබිලා තියෙනවා, එහෙම වැඩිපුර ගෙවපු අය. එතකොට ඒ සඳහා දඩ පැනවීම කරලා තියෙනවා. තවත් විමර්ශන ගණනාවක් කරගෙන යනවා. එතකොට මේ හරි වටිනාකම රේගුවට ප්‍රකාශ කිරීම ආනයනකරුගේ වගකීමක්. එහෙම කලේ නැත්නම් දඬුවම් ලබන්න වෙනවා.“
“ඒ වගේම දැන් අපි ආරම්භ කරලා තියෙනවා, ආනයනකරුවන් දැනුවත් කරන්න, අපේ ක්‍රමවේද මොනවාද එහෙම අඩුවෙන් භාණ්ඩවල වටිනාකම ප්‍රකාශ කරන ආයතනවලට තමන්ගේ ආනයන කටයුතු පහසුවෙන් කර ගැනීමට බැරි වෙන තත්ත්වයේ ක්‍රියාපිළිවෙලවල් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. අපිට පැහැදිලි සාක්ෂි ලැබුණාම යම් භාණ්ඩයක වටිනාකම අඩුවෙන් දක්වලා තියෙනවා කියලා, අපි දැන් ආරම්භ කරලා තියෙනවා, ඒ වගේ සමාන භාණ්ඩ ආනයන කරන ආනයනකරුවෝ රැස් කරලා, ඒ අයට කියනවා මෙන්න මේ භාණ්ඩයට අදාළව අපි මෙන්න මෙහෙම සාක්ෂි හොයා ගෙන තියෙනවා. මේ භාණ්ඩයේ වටිනාකම මෙච්චර ප්‍රමාණයක් වෙනවා, හැබැයි මේ භාණ්ඩය අඩුවෙන් declare කරන කට්ටිය ඉන්නවා. එතකොට ඒ කට්ටියට වහාම තමන්ගේ නිවැරදි වටිනාකම් ප්‍රකාශ කරලා නිවැරදි බදු ප්‍රමාණය ගෙවීම සඳහා කටයුතු සූදානම් කරන්න කියලා. එහෙම ඒකට එකඟතාවයෙන් කටයුතු කරන ආයතනවලට අපි දඩ පැනවීමකින් තොරව පැරණි බදු අය කර ගැනීමක් කර ගන්න තියනෙවා නම් ඒක කරලා, එහෙම කටයුතු කරගෙන යනවා.“
Video Story