මත්තලට ආයෝජකයින්ගේ කැමැත්ත දැක්වීමට දුන් කාලය මාසයකින් දීර්ඝ කරයි

    June, 12, 2026

    මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) සඳහා දෙස්විදෙස් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් අභිලාෂ කැඳවීම සඳහා ලබා දී තිබූ කාලය තවත් මාසයකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව 2026 ජූනි 09 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) සඳහා අභිලාෂ කැඳවීමට දී තිබූ කාලය 2026 ජූලි 09 දින දක්වා දීර්ඝ කර ඇත.

    ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය පුනර්ජීවනය කිරීමට සහ දකුණු පළාතේ ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) සඳහා දේශීය හා විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේ නිල වැඩපිළිවෙළක් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය හා එක්ව ආරම්භ කෙරුණි. මේ සදහා දේශීය හා අන්තර් ජාතික ආයෝජකයින් එක් කරගැනීමේ මෙහෙයුම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

    මේ පිළිබදව උනන්දුවක් පවතින ආයෝජකයින් හට "අභිලාෂය ප්‍රකාශ කිරීමේ පත්‍රිකා" (Expressions of Interest - EOIs) කැඳවීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත.

    හම්බන්තොට පිහිටි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වසර දහයකට පෙර විවෘත කළද මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ඉහළ විභවයක් සහිත, කැපී පෙනෙන වර්ධනයක් සඳහා සූදානම්ව පවතින ආයෝජන ආකර්ෂණීය මධ්‍යස්ථානයකි. එසේම, සංචාරක සංවර්ධනය, ගුවන්තොටුපළ මෙහෙයුම්, භාණ්ඩ ප්‍රවාහනය (Cargo), සැපයුම් දාම (Logistics), නඩත්තු හා අළුත්වැඩියා කටයුතු (MRO) වැනි අංශයන්හි උපායමාර්ගික ආයෝජන සඳහා මෙහි විශාල අවස්ථාවන් රැසක් පවතී.

    මෙහිදී අභිලාෂය ප්‍රකාශ කිරීමේ පත්‍රිකා (EOI) කැඳවීම ප්‍රධාන අංශ දෙකකට බෙදා ඇත:
    1. Airside/Aerodrome Operations: ගුවන් තොටුපළේ අභ්‍යන්තර සීමාව තුළ සිදුවන සිවිල් ගුවන් මෙහෙයුම් ආවරණය වේ.
    2. Landside Operations: ගුවන්තොටුපළේ අභ්‍යන්තර සහ බාහිර සීමාවන් තුළ සිදුවන ක්‍රියාකාරකම් මෙයට ඇතුළත් වේ.

    මත්තල ගුවන්තොටුපළේ ආයෝජන යෝජනාවලිය භාණ්ඩ ප්‍රවාහන සේවා, සැපයුම් දාම කළමනාකරණය, ගුවන් යානා නඩත්තු කිරීම සහ අළුත්වැඩියා කිරීම (MRO), ගුවන් යානා අමතර කොටස් නිෂ්පාදනය, ඇසුරුම්කරණය සහ ගබඩා කිරීම සඳහා වූ කාර්මික උද්‍යාන, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මෙන්ම සංචාරක හෝටල් සහ ආගන්තුක සත්කාරක සේවා වැනි විවිධ අංශයන්ගෙන් සමන්විත වේ. හම්බන්තොට වරායට සහ ජාත්‍යන්තර මුහුදු මාර්ගවලට ඇති සමීපතාවය නිසා ගුවන් සහ මුහුදු ප්‍රවාහන සේවා ඒකාබද්ධව පවත්වාගෙන යාමේ හැකියාව මෙහි ඇති ප්‍රධාන තරඟකාරී වාසි ලෙස හඳුනාගෙන ඇත.

    ආයෝජකයින්ගේ ප්‍රාග්ධන හැකියාවන් සහ අවදානම් රුචිකත්වයන්ට ගැළපෙන පරිදි හවුල් ව්‍යාපාර (Joint Ventures), රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් (PPP) සහ සෘජු ආයෝජන වැනි නම්‍යශීලී ආයෝජන ආකෘතීන් පිරිනමනු ලැබේ. ගුවන්තොටුපළ සතුව නවීන ධාවන පථ, මගී පර්යන්ත සහ භාණ්ඩ හැසිරවීමේ පහසුකම් ඇතුළු දියුණු යටිතල පහසුකම් මේ වනවිටත් ස්ථාපිතව ඇත.

    මෙම අභිලාෂය ප්‍රකාශ කිරීමේ (EOI) ක්‍රියාවලිය දේශීය මෙන්ම ජාත්‍යන්තර ආයතන සඳහා ද විවෘත බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.