May, 12, 2026
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය පුනර්ජීවනය කිරීමට සහ දකුණු පළාතේ ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) සඳහා දේශීය හා විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේ නිල වැඩපිළිවෙළක් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය හා එක්ව ආරම්භ කර ඇත. මේ සදහා දේශීය හා අන්තර් ජාතික ආයෝජකයින් එක් කරගැනීමේ මෙහෙයුම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
මේ වනවිටත් මේ පිළිබදව උනන්දුවක් පවතින ආයෝජකයින් හට "අභිලාෂය ප්‍රකාශ කිරීමේ පත්‍රිකා" (Expressions of Interest - EOIs) කැඳවීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත.
හම්බන්තොට පිහිටි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වසර දහයකට පෙර විවෘත කළද මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ඉහළ විභවයක් සහිත, කැපී පෙනෙන වර්ධනයක් සඳහා සූදානම්ව පවතින ආයෝජන ආකර්ෂණීය මධ්‍යස්ථානයකි. එසේම, සංචාරක සංවර්ධනය, ගුවන්තොටුපළ මෙහෙයුම්, භාණ්ඩ ප්‍රවාහනය (Cargo), සැපයුම් දාම (Logistics), නඩත්තු හා අළුත්වැඩියා කටයුතු (MRO) වැනි අංශයන්හි උපායමාර්ගික ආයෝජන සඳහා මෙහි විශාල අවස්ථාවන් රැසක් පවතී.
මෙහිදී අභිලාෂය ප්‍රකාශ කිරීමේ පත්‍රිකා (EOI) කැඳවීම ප්‍රධාන අංශ දෙකකට බෙදා ඇත:
1. Airside/Aerodrome Operations: ගුවන් තොටුපළේ අභ්‍යන්තර සීමාව තුළ සිදුවන සිවිල් ගුවන් මෙහෙයුම් ආවරණය වේ.
2. Landside Operations: ගුවන්තොටුපළේ අභ්‍යන්තර සහ බාහිර සීමාවන් තුළ සිදුවන ක්‍රියාකාරකම් මෙයට ඇතුළත් වේ.
මත්තල ගුවන්තොටුපළේ ආයෝජන යෝජනාවලිය භාණ්ඩ ප්‍රවාහන සේවා, සැපයුම් දාම කළමනාකරණය, ගුවන් යානා නඩත්තු කිරීම සහ අළුත්වැඩියා කිරීම (MRO), ගුවන් යානා අමතර කොටස් නිෂ්පාදනය, ඇසුරුම්කරණය සහ ගබඩා කිරීම සඳහා වූ කාර්මික උද්‍යාන, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මෙන්ම සංචාරක හෝටල් සහ ආගන්තුක සත්කාරක සේවා වැනි විවිධ අංශයන්ගෙන් සමන්විත වේ. හම්බන්තොට වරායට සහ ජාත්‍යන්තර මුහුදු මාර්ගවලට ඇති සමීපතාවය නිසා ගුවන් සහ මුහුදු ප්‍රවාහන සේවා ඒකාබද්ධව පවත්වාගෙන යාමේ හැකියාව මෙහි ඇති ප්‍රධාන තරඟකාරී වාසි ලෙස හඳුනාගෙන ඇත.
ආයෝජකයින්ගේ ප්‍රාග්ධන හැකියාවන් සහ අවදානම් රුචිකත්වයන්ට ගැළපෙන පරිදි හවුල් ව්‍යාපාර (Joint Ventures), රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් (PPP) සහ සෘජු ආයෝජන වැනි නම්‍යශීලී ආයෝජන ආකෘතීන් පිරිනමනු ලැබේ. ගුවන්තොටුපළ සතුව නවීන ධාවන පථ, මගී පර්යන්ත සහ භාණ්ඩ හැසිරවීමේ පහසුකම් ඇතුළු දියුණු යටිතල පහසුකම් මේ වනවිටත් ස්ථාපිතව ඇත.
මෙම අභිලාෂය ප්‍රකාශ කිරීමේ (EOI) ක්‍රියාවලිය දේශීය මෙන්ම ජාත්‍යන්තර ආයතන සඳහා ද විවෘත බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි. 2026 අප්‍රේල් 27 සිට 2026 ජූනි 8 දක්වා රජයේ වැඩ කරන දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 2.30 දක්වා අදාළ ලියකියවිලි නොමිලේ ලබා ගත හැකිය. උනන්දුවක් දක්වන පාර්ශවයන් සිය නිල ලිපි ශීර්ෂය යටතේ සකස් කරන ලද ඉල්ලීම් ලිපියක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA), මගී පර්යන්ත ගොඩනැගිල්ලේ, 2 වන මහලේ, අංක 35 දරන කාමරයේ පිහිටි වාණිජ හා දේපළ ප්‍රධානී කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය. එම ලියකියවිලි AASL නිල වෙබ් අඩවිය වන www.airport.lk වෙතින් ද බාගත හැකිය.
ආයෝජන යෝජනාව පිළිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාවක් සහ මත්තල නිරීක්ෂණ චාරිකාවක් 2026 මැයි 22 දිනට සැලසුම් කර ඇත. මේ සඳහා සහභාගී වීමට කැමති ආයෝජකයින්ට AASL හි අලෙවි සහ ආයතනික සන්නිවේදන ප්‍රධානී හරහා වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය. දුරකථන: +94 112264400 (කාර්යාලය) හෝ +94 763963000 / +94 718436057 (ජංගම).
මෙම වැඩපිළිවෙළ විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට දරන පුළුල් උත්සාහයක කොටසකි. මෙම අවස්ථාව පිළිබඳව ජාත්‍යන්තරව ප්‍රචාරය ලබා දීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) මැදිහත් වන අතර, එය අදාල රාජ්‍ය ආයතන අතර පවතින ශක්තිමත් සම්බන්ධීකරණය මනාව පෙන්නුම් කරයි.


Video Story