මහනුවරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක්

    February, 5, 2021

    විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මඟ පෙන්වීම යටතේ, මහජනයා වෙත සේවා සැපයීමේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාවය වැඩිදියුණු කිරීම මඟින් රජයේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්ති රාමුවට ජවයක් ලබා දීම සඳහා, විදේශ අමාත්‍යාංශය සිය ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් 2021 පෙබරවාරි 06 වැනි සෙනසුරාදා දින සවස 2.00 ට මහනුවර දී විවෘත කිරීමට නියමිතය.

    පේරාදෙණියේ ගැටඹේ පිහිටි මහින්ද රාජපක්ෂ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති මෙම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය,මහනුවර නියෝජනය කරන දේශපාලන නායකයන් හා විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ද සහභාගීත්වයෙන් යුතුව විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා අතින් විවෘත කෙරෙනු ඇත.

    මෙම කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීම මඟින් මධ්‍යම පළාතේ සහ යාබද ප්‍රදේශවල වෙසෙන ජනතාවට කොළඹ පිහිටි විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය වෙත ගමන් ගැනීමකින් තොරව සිය කොන්සියුලර් සේවාවන් රාශියක් ලබා ගැනීම සඳහා ඉඩකඩ සැලසෙනු ඇත.

    මහජනයා වෙත ලබා දෙන පහසුකම් අතරට, විදේශවල දී භාවිතය සඳහා උප්පැන්න, මරණ හා විවාහ සහතික, අධ්‍යාපනික සහතික සහ වෙනත් නීතිමය ලියවිලි යනාදිය සහතික කිරීම, විදේශවල දී අතරමං වූ ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහය වීම, සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහන සැලසීම සහ වන්දි ඉල්ලීම් හා විදේශවලින් මෘත දේහයන් ගෙන්වා ගැනීම සඳහා පහසුකම් සැලසීම යනාදිය ඇතුළත් වනු ඇත.

    විදේශ අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය

    ලිපිනය : 2 වැනි මහල, මහින්ද රාජපක්ෂ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය, ගැටඹේ, පේරාදෙණිය. අංක. 1065, ගැටඹේ, පේරාදෙණිය

    රාජකාරි වේලාවන් : සඳුදා සිට සිකුරාදා දක්වා: පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා

    දුරකථනය : 00 94 812384410

    විද්‍යුත් තැපෑල : kandy.consular@mfa.gov.lk