මහපොළ රු. 7,000 දක්වා වැඩිකිරීමට සැලසුම්

    February, 19, 2021

    මහපොළ අරමුදලේ 2020 - 2025 උපාය මාර්ග සැලැස්ම අනුව ඉදිරි පස් වසර තුළ දැනට ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව 30% ක් පමණ ඉහළ නැංවීමට හා ශිෂ්‍යත්වයක වටිනාකම 25% පමණ එනම් රු. 7,000 දක්වා වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කොට ඇත. එම සැලසුම් ක්‍රියාත්මක වීමේ දී දැනට පවතින රු. බිලියන 11ක අරමුදල රු. බිලියන 20 දක්වා වැඩි කිරීමටත් ඒ තුලින් ජනිත වන අතිරේක ආදායම් අරමුදලේ ස්ථාපිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට සඳහා යොදා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවය විශ්වාස කරන බවත්, මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ අධ්‍යක්ෂ, එම්. පරාක්‍රම බණ්ඩාර මහතා පවසයි. ‘ලලිත් ඇතුලත්මුදල් මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල‘ - 2019 වාර්ෂික වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

    මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ මුදල් ආයෝජන කටයුතු සම්බන්ධයෙන් නැෂනල් වෙල්ත්ස් කෝපරේෂන් සමාගම හා එහි උප සමාගමක් ලෙස නැෂනල් වෙල්ත් සිකියුරිටි සමාගම 2003 වර්ෂයේ දී ආරම්භ කරන ලදී. ආරම්භයේ දී ලබාදුන් රු. බි. 3.16ක මුදල 2019 වර්ෂයේ දී අරමුදල රු. බි. 8.6ක් දක්වා වර්ධනය කර නැවත මහපොළ අරමුදල වෙත මාරු කර ඇති බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

    මේ අතර අරමුදලට අගතියක් වූ කරුණක් පිළිබඳව මෙම වාර්තාවෙ හි මෙලෙස දක්වා ඇත.

    “2017 ජූලි මස 06 වන දින අංක 2026/35 අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශයේ යටතේ පැවති ගැසට් කර තිබූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ (ඇපයෙන්) සීමිත සමාගම 2017 මැයි මස 16 වැනි දින සිට කිසිදු අමාත්‍යාංශයක් යටතට නොගැනෙන බව නිවේදනය කර ඇත.“

    “නමුත් එමගින් මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලට, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ (ඇපයෙන්) සීමිත සමාගමේ අයිතියට බලපෑමක් නොවන බව නිරීක්ෂණය වේ. මහපොළ භාරය මෙරට දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම සඳහා ගොඩනගන ලද්දක් වන අතර මෙම ක්‍රියාවලිය තුලින් මහපොළ භාර අරමුදල සඳහා අගතියක් සිදුවී ඇති බව නිරීක්ෂණය කරමි.“