මහාචාර්ය ලක්ෂ්මන් මහ බැංකු අධිපති ධූරයට සමුදෙයි

    September, 10, 2021

    ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා එළඹෙන සැප්තැම්බර් 14 දින සිට බලපැවැත්වෙන පරිදි සිය ධූරයෙන් විශ්‍රාම යන බව අද (10) දින නිවේදනය කර සිටියේය.

    1949 අංක 58 දරන මුදල් නීති පනතේ ප්‍රතිපාදනවලට අනුකූල ව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2019 දෙසැම්බර් 24 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා පත් කරනු ලැබීය. ඒ අනුව මහාචාර්ය ලක්ෂ්මන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරන ලදී.

    ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයකු වන මහාචාර්ය ලක්ෂ්මන් මහතා 1994 සිට 1999 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස ද සේවය කළේ ය.

    අධ්‍යාපන ක්ෂේත්‍රයට කළ සේවය වෙනුවෙන් ඔහු 2005 වසරේ දී දේශමාන්‍ය ගෞරව නාමයෙන් ද පිදුම් ලැබී ය.

    මහාචාර්ය ලක්ෂ්මන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 15 වැනි අධිපතිවරයායි.