මහ බැංකුව එක දවසක දී රු. බිලියන 208 ක සල්ලි අච්චු ගැහුවේ මෙහෙමයි

    July, 1, 2021

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය සඳුදා (28) දිනයේ දී රු. බිලියන 208 ක මුදල් නෝට්ටු ප්‍රමාණයක් අච්චු ගසා ඇති බව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් නොව ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් හි පවා නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබෙන ප්‍රවෘත්තියකි.

    මුදල් අච්චු ගැසීම යන්නෙහි සාමාන්‍ය අර්ථය වනුයේ මහ බැංකුව විසින් නව මුදල් නිකුත් කිරීමයි. ආර්ථික විද්‍යානුකූලව මෙය හඳුන්වන්නේ මුදල් සංචිත ලෙසය.

    මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහාකාර අධිපතිවරියක වූ ස්වරණා ගුණරත්න විසින් 2018 වසරේ දී පළ කර තිබෙන 'මහ බැංකුව මුදල් අච්චුගසන්නේ නිසි පාලනයක් ඇතිව ද?' යන ලිපියේ මෙසේ සඳහන් වේ. "ලෝකයේ රටවල්වලින් ‌බොහොමයක මුදල් අච්චු ගැසීමේ බලය තිබෙන්නේ ඒම රටවල්වල මහ බැංකුවලටයි. ශ්‍රී ලංකාවේ ද මුදල් අච්චු ගැසීමේ බලය තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවටයි. මෙම බලය මහ බැංකුවට ලැබී ඇත්තේ 1949 අංක 58 දරණ මුදල් නීති පනතිනි."

    කෙසේ වෙතත් මෙම කරුණ නිසි පරිදි සන්නිවේදනය වනවා ද යන්න නිවැරදිව වටහා ගත යුතු වේ. මක් නිසාද යත් රටක මහ බැංකුවක් විසින් 'මුදල් අච්චු ගැසීම' යනු හුදු සල්ලි අච්චු ගැසීමේ මැෂිමක් ආධාරයෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමක් නොවන බැවිනි. ඒබැවින් ඉහත කී ලිපියේ සඳහන් කරුණු කිහිපයක් ඇසුරින් ඒය මෙසේ විස්තර කළ හැකි වේ.

    මහ බැංකුව රජය සමඟ සිදු කරන ගනුදෙනු අතර ප්‍රධාන තැනක් ගන්නේ මහ බැංකුව විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් මිලට ගැනීම සහ රජයට තාවකාලික අත්තිකාරම් සැපයීමයි. රජයේ මුදල් අවශ්‍යතා සඳහා රජය විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම්වල දී මුදල් නීති පනතින් ලැබී ඇති බලතල අනුව ඒවායින් යම් කොටසක් මහ බැංකුවේ අභිමතය පරිදි සහ සමස්ත මුදල් සැපයුමට අහිතකර ලෙස බලනොපාන පරිදි මිල දී ගැනීමට මහ බැංකුවට හැකිය. ඒසේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමේ දී ඒහි අගයට සමාන මුදල් ප්‍රමාණයක් නව මුදල් නිකුත් කිරීම් ලෙස ආර්ථිකයට මුදා හැරීම සිදුවේ. ඒබැවින් පසුගිය ජූනි 28 සඳුදා දිනයේ දී සිදු වී ඇත්තේ ද ඒවැන්නකි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඒක්දින මුදල් වෙළෙඳපොළ ගනුදෙනු, නිත්‍ය පහසුකම භාවිතා කළ ආකාරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් දෛනිකව නිකුත් කරනු ලබයි.

    එම සටහනට අනුව 2021 ජූනි 25 සිකුරාදා දිනට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 919.21 කි. එම ප්‍රමාණය ජූනි 28 සඳුදා දින නිකුත් කරන ලද වාර්තාවෙහි දැක්වෙන්නේ රුපියල් බිලියන 1,127.64 ක් ලෙසිනි. එනම් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 208.43 කින් වැඩි වී ඇති ආකාරයකි. මෙයින් ගම්‍ය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 208.43 ක නව මුදල් ප්‍රමාණයක් රටට මුදාහැර ඇති බවයි.

    දේශීය මුදල් වෙළඳපොළ තුළ රුපියල් ද්‍රවශීලතා හිඟයක් පවතින අවස්ථාවක දී සුදුසු පරිදි විවට වෙළඳපොළ කටයුතු හරහා වෙළඳපොළට ප්‍රමාණවත් ද්‍රවශීලතාවක් සැපයීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදු වේ. වෙළඳපොළ තුළ ඉහළ මට්ටමේ සහ දිගු කාලීන වශයෙන් හිඟ ද්‍රවශීලතාවක් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව දිගු කාලීන ප්‍රතිවිකුණුම් වෙන්දේසි පවත්වා ප්‍රධාන වශයෙන් ද්විතීයීක වෙළඳපොළ වෙතින් රාජ්‍ය සුරැකුම්පත් ස්ථාවර පදනම මත මිලදී ගැනීම සිදු කරනු ලබයි. මෙවැනි ක්‍රියාකාරකම් වෙළඳපොළ සහභාගිවන්නන් සමඟ කෙරෙන සාමාන්‍ය මුදල් මෙහෙයුම් කටයුතු වන අතර, ඒ සඳහා රාජ්‍ය මූල්‍ය තත්ත්වය හෝ දේශපාලනමය සිදුවීම්වල කිසිදු අදාළත්වයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස වේ.

    ඒබැවින් පසුගිය සඳුදා දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ රු. බිලියන 208.43 ක මුදල් ප්‍රමාණය, බියගම පිහිටි තෝමස් ඩිලාරූ (De La Rue) සල්ලි අච්චු ගසන කර්මාන්තශාලාවේ යන්ත්‍රවලින් මුද්‍රණය කර රටට මුදා හළ නෝට්ටු ප්‍රමාණයක් බවට වරදවා වටහා ගත යුතු නැත.

    - සිසිර කන්නන්ගර

     

    'මහ බැංකුව මුදල් අච්චුගසන්නේ නිසි පාලනයක් ඇතිව ද?' සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.